ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වසර 14ක් පුරා නොබිඳී පැවති සුවිශේෂී වාර්තාවක් තමන් සතු කර ගැනීමට 15 හැවිරිදි නවක ක්‍රීඩක විභව් සූර්යවංශි පසුගියදා සමත් විය. ඔහු මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළේ මෙවර තරගාවලියේ මූලික වටයේ ලකුණු සටහනට අනුව තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනාගත් කණ්ඩායම් අතර චන්දිගර්හිදී පැවැති තීරණාත්මක තරගයේදීය.
රාජස්තාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතර පැවැති මෙම තරගය සංවිධානය කර තිබුණේ මෙවර අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය කිරීම සඳහාය.බිහාර් ප්‍රාන්තයෙන් බිහිවූ මෙම වමත් පිතිකරුවා ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ප්‍රවේගකාරී යොවුන් ක්‍රීඩකයෙකු ලෙස මේ වන විට කාගේත් අවධානයට ලක්ව සිටී. 2011 වසරේ උපත ලැබූ සූර්යවංශි, අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වූ 2008 වසරෙන් පසුව උපත ලබා මෙම තරග බිමට පිවිසි පළමු ක්‍රීඩකයා ලෙසද ඉතිහාසයට එක්වේ. වයස අවුරුදු 12 දී රංජි කුසලාන තරගාවලියට ක්‍රීඩා කරමින් ඉන්දීය දේශීය ක්‍රිකට් ඉතිහාසයේ ළාබාලම ක්‍රීඩකයෙකු වූ ඔහු, වයස 19න් පහළ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 58කින් වේගවත් ශතකයක් මෙන්ම 2026 වයස 19න් පහළ ලෝක කුසලාන අවසන් තරගයේදී පන්දු 80කින් ලකුණු 175ක් ලබා තරගාවලියේ වීරයා බවටද පත්විය. ඔහුගේ මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් වයස අවුරුදු 13 දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඔහුව ඉන්දීය රුපියල් කෝටි 1.1කට මිලදී ගත් අතර, වයස අවුරුදු 14යි දින 23ක් වන විට අයි.පී.එල්. වරම් ලබමින් ඔහු ඉතිහාසයේ ළාබාලම අයි.පී.එල්. ක්‍රීඩකයා බවට පත් විය. ඉන් දින කිහිපයකට පසු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 35කින් ශතකයක් රැස් කරමින් විස්සයි20 ඉතිහාසයේ ලාබාලම ශතකලාභියා වීමේ වාර්තාවද ඔහු සතු කරගත්තේය.
චන්දිගර්හි පැවැති මෙම තරගයේදී කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 243ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක් කළේය. එහිදී රාජස්තාන් ඉනිම සරසමින් අති ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ විභව් සූර්යවංශි පන්දු 29ක් තුළදී ලකුණු 97ක් රැස් කිරීමට සමත් වූයේ හතරේ පහර 5ක් සහ හයේ පහර 15ක් තම ඉනිමට ඇතුළත් කරමිනි. මෙම ප්‍රහාරයත් සමග ඔහු මෙවර තරගාවලිය තුළ එල්ල කරන ලද සමස්ත හයේ පහර සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගිය අතර, ඒ අනුව 2012 වසරේදී සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් විසින් හයේ පහර 59ක් එල්ල කරමින් තබා තිබූ වසර 14ක් පැරණි වාර්තාව බිඳ හෙළීමට මෙම යොවුන් ක්‍රීඩකයාට හැකි විය. ක්‍රිස් ගේල් සහ සචින් ටෙන්ඩුල්කාර් වැනි ප්‍රවීණයන්ගේ පවා ඇගයීමට ලක්වූ සූර්යවංශි, මේ වන විට මෙවර තරග වාරයේ වැඩිම හයේ පහර එල්ල කළ ඉන්දීය පිතිකරුවා ලෙසද කැපී පෙනෙයි.
ලකුණු 244ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් තුළ සියලුම ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 196ක් පමණි. ඒ අනුව ලකුණු 47ක විශිෂ්ට ජයක් වාර්තා කළ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. මෙම තීරණාත්මක දෙවැනි අවසන් පූර්ව තරගය හෙට දිනයේදී රාජස්තාන රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව ඇත. එම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට, මේ වනවිටත් සෘජුවම අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කරවාගෙන සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම සමගින් මෙවර අයි.පී.එල්. මහා ශූරතාව වෙනුවෙන් තරග වැදීමේ මහා අවස්ථාව උදාවනු ඇත.
