a-research-reveals-that-the-number-of-words-people-speak-daily-has-decreased

ඇමරිකා එක්සත් ජනපදයේ මිසූරි-කැන්සාස් සිටි (UMKC) සහ ඇරිසෝනා යන විශ්වවිද්‍යාල විසින් මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකට අනුව, මිනිසුන් එදිනෙදා භාවිත කරන කතා කරන වචන ප්‍රමාණයේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරයි. මනෝවිද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන ඇති පරිදි 2005 වසරේ සිට මේ දක්වා, සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට කතා කරන වචන ප්‍රමාණය සෑම වසරකම වචන 338 කින් පමණ අඩුවී ඇත.

මෙහි සමස්ත ප්‍රතිඵලය ලෙස 2005 සහ 2019 අතර කාලය තුළ මිනිසුන් කතා කරන වචන ප්‍රමාණයේ සියයට 28 ක දැවැන්ත පහත වැටීමක් සිදුවී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.




මෙම දෛනික අඩුවීම එක් පුද්ගලයෙකුට වසරකට අහිමි වන වචන 120,000 කට ආසන්න ප්‍රමාණයකට සමාන වන අතර, එයින් අදහස් වන්නේ දහස් ගණනක් වූ මානව අන්තර්ක්‍රියා අපට අහිමි වී යන බවයි. මෙම නිගමනයට එළඹීම සඳහා ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ මහාචාර්ය මතියස් මෙල් සහ UMKC හි වාග්විද්‍යාව හා මනෝවිද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය වැලරියා ෆයිෆර් විසින් ඇමරිකාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව යන කලාප ආවරණය වන පරිදි වසර 14 ක් පුරා සිදුකළ අධ්‍යයන 22 ක දත්ත විශ්ලේෂණය කර ඇත. වයස අවුරුදු 10 ත් 94 ත් අතර පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසකගේ එදිනෙදා ජීවිතයේ ශ්‍රව්‍ය දත්ත මේ සඳහා යොදාගෙන තිබේ.

කතාබහ කිරීමේ මෙම අඩුවීමට නිශ්චිත හේතුවක් පර්යේෂණය මගින් තහවුරු කර නොමැති වුවද, එය කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය භාවිතයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවූ කාලවකවානුව හා මනාව සමපාත වේ. විශේෂයෙන්ම වයස අවුරුදු 25 සහ ඊට අඩු තරුණ ප්‍රජාව අතර මෙම අඩුවීම වඩාත් තීව්‍ර ලෙස දක්නට ලැබෙන අතර, ඊට ඔවුන්ගේ ඉහළ තාක්‍ෂණික භාවිතය හේතු වී ඇතැයි අනුමාන කෙරේ. දෛනික හැසිරීම් වල සිදුවන මෙවැනි සුළු වෙනස්කම් කාලයත් සමඟ එකතු වී මිනිසුන් එකිනෙකා සමඟ සම්බන්ධ වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බව වෛද්‍ය ෆයිෆර් පෙන්වා දෙයි. කතා කිරීම අඩුවීම යනු අන් අය සමඟ සම්බන්ධ වීමට ගත කරන කාලය අඩුවීමක් බවත්, මේ හරහා සමාජ අන්තර්ක්‍රියා වලින් ලැබෙන ක්ෂණික චිත්තවේගීය ප්‍රතිලාභ මෙන්ම ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමේ දිගුකාලීන ප්‍රතිලාභ ද මිනිසුන්ට අහිමි වී යන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.




වසර 200,000 කට වැඩි කාලයක් පුරා මිනිසා සන්නිවේදනය සඳහා කතා කරන භාෂාව මත යැපී සිටි අතර, කටහඬේ ස්වරය, හැඟීම් සහ සංවාද රටාවන් වෙනුවට ලිඛිත අකුරු සහ ඉමොජි මත යැපීම කෙතරම් දුරට බලපාන්නේද යන්න තවමත් සම්පූර්ණයෙන් අනාවරණය වී නොමැත. වඩාත් ඩිජිටල් සන්නිවේදනයක් වෙත යොමුවීම හරහා සිදුවන සමාජීය පිරිවැය පිළිබඳව විද්‍යාඥයින් තවමත් අධ්‍යයනය කරමින් සිටියි. කෙසේ වෙතත්, මෙම පර්යේෂණ ප්‍රතිඵල මගින් ලිඛිත හා වාචික සන්නිවේදනයන් ද්විත්වයම මිනිසාගේ හුදකලාව, සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි කෙසේ බලපාන්නේද යන්න වඩා හොඳින් තේරුම් ගැනීමේ හදිසි අවශ්‍යතාවය සමාජයට අවධාරණය කරයි. (නිව්යොර්ක් ටයිම්ස් ඇසුරිනි)