pallegama-was-removed-from-the-posts-including-atamasthanadiphi

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට ලක්ව සිටින පල්ලේගම හේමරතන හිමියන් දැරූ "නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක" පදවිය ඇතුළු සියලු තානාන්තර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව පියවර ගෙන තිබේ. මල්වතු පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම තීරණය ගෙන ඇති අතර, දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වී ස්ථිර තීන්දුවක් ලැබෙන තෙක් මෙම තහනම බලපැවැත්වෙනු ඇත.




අනුරාධපුර ප්‍රදේශයේ දැඩි ආර්ථික අපහසුතා සහිත පවුලක පසුවන මෙම දැරිය ඇයගේ මවගේ ද අනුදැනුම ඇතිව මුදලට හුවමාරු කරමින්, දීර්ඝ කාලයක් තිස්සේ අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් හේමරතන හිමියන්ට එරෙහිව මේ වන විට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඍජුව මැදිහත් වී පවරා ඇති මෙම නඩුව සඳහා වින්දිත දැරියගේ වෛද්‍ය වාර්තා, දුරකථන සංවාද සටහන් මෙන්ම අපරාධය සිදුවූ ස්ථානීය සාක්ෂි ද ඉදිරිපත් වී ඇති අතර, මේ හේතුවෙන් උන්වහන්සේ දැඩි සමාජ විවේචනයකට මෙන්ම නීතිමය වටපිටාවකට මුහුණ දී සිටිති.

එල්ල වී ඇති මෙම බරපතළ චෝදනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ මල්වතු මහා විහාරයේ ගරුතර කාරක මහාසංඝ සභාව විසින් මීට පෙර අදාළ පාර්ශවයන් තමන් වෙත කැඳවා මේ පිළිබඳව කරුණු විමසමින් පුළුල් විමර්ශනයක් සිදු කර තිබේ. ඉන් අනතුරුව 2026 මැයි 30 වන දින රැස්වූ කාරක මහාසංඝ සභාව, විවාදිත සිදුවීමට අදාළ නීතිමය කටයුතු නිමාවන තෙක් උන්වහන්සේ වෙත පවරා තිබූ සංඝනායක පදවියේ සියලු බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇත.




මේ අතර, පැන නැගී ඇති මෙම සුවිශේෂී තත්ත්වය හමුවේ අටමස්ථානාධිපති ධුරයේ වැඩකටයුතු අඛණ්ඩව සහ විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අටමස්ථාන කමිටුව විසින් නව තාවකාලික පත්වීමක් සිදු කර තිබේ. ඒ අනුව, කාරක මහාසංඝ සභාවේ නියමයට අනුකූලව ක්‍රියාත්මක වෙමින්, උතුරු මැද දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්ථවිරයන් වහන්සේව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා තාවකාලිකව පත් කිරීමට පියවර ගෙන ඇත.

මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ ඍජු නියමයෙන් නිකුත් කරන ලද මෙම නිල මාධ්‍ය නිවේදනය සඳහා මල්වතු විහාරයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්ථවිරයන් වහන්සේ නිල වශයෙන් අත්සන් තබා තිබේ.

pallegama-was-removed-from-the-posts-including-atamasthanadiphi