නීතිය පසිඳලන දේව මන්දිරය බඳු අධිකරණ ශාලාවක් තුළදී ජීවිතයක් බිලිගැනීම යනු හුදු මිනීමැරුමක් නොව, සමස්ත නීති පද්ධතියටම එල්ල කළ බරපතළ අභියෝගයකි.
පසුගිය වසරේ පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදීම පාතාල ප්‍රබලයකු වූ මාකිලන්ගමුවේ සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගනේමුල්ල සංජීව' ඝාතනය කිරීමේ මෙහෙයුමට පිස්තෝලයක් සපයමින් ආධාර අනුබල දුන් බව කියන හැට නව හැවිරිදි 'ගම්පහ ඔස්මන්' හෙවත් ඔස්මන් ගුණසේකර ඊයේ (14) අලුයම කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ගම්පහ බෝධි පාරේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ අතර, එහි සඟවා තිබූ තුර්කියේ නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ දහයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
එම අවිය ඔහුගේ බිරිඳගේ සොහොයුරකුට අයත් එකක් බව පැවසුණද, එය මෙම අපරාධය සඳහා යොදාගත් අවියම දැයි තහවුරු කරගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වයි.
මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක වූයේ හොලිවුඩ් සිනමාපටයක් පරයන අන්දමිනි. නීතිඥවරියකගේ වෙස් ගත් ඉෂාරා සෙව්වන්දි නමැත්තියක විසින් නීති පොතක සඟවාගෙන ගිය ගිනි අවිය, නීතිඥයෙකු ලෙසම වෙස්වළාගෙන සිටි වෙඩික්කරුවා අතට පත් කිරීමෙන් පසු විත්ති කූඩුව තුළදීම සංජීවගේ ජීවිතය අවසන් කෙරුණි. වෙඩික්කරුවා පුත්තලමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් අතර, ඊට ආධාර කළ නීතිඥවරියක සහ සෙව්වන්දි යන අය ද මේ වන විට පසුවන්නේ රැඳවුම් භාරයේය.
මෙම ඝාතනය පිටුපස ඇත්තේ කාලාන්තරයක් තිස්සේ ලියලමින් පැවති පාතාල ලේ පිපාසයකි. ගම්පහ ඔස්මන් යනු මීට පෙර අවස්ථා තුනකදීම ගනේමුල්ල සංජීවගේ ගෝලයන්ගේ වෙඩි ප්‍රහාරවලින් අනූනවයෙන් දිවි ගලවාගත් අයෙකි. 2018 වසරේ කිරිඳිවැලදී ඔහුගේ වාහනයට වෙඩි තැබීමෙන් ගෝලයකු බරපතළ තුවාල ලැබූ අතර, 2024 සිංහල අලුත් අවුරුදු උත්සවයකදී ඔහුව ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු එවකට බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. පියසිරි මහතා ප්‍රමුඛ කණ්ඩායමට කොටුවීමෙනි.
තමන්ව මරා දැමීමට මාන බැලූ සතුරාට එරෙහිව, විදෙස්ගතව සිට මෑතකදී මෙරටට ගෙන ආ කෙහෙල්බද්දර පද්ම, බටුවත්තේ චාමර සහ කමාන්ඩෝ සලිඳු වැනි සෙසු පාතාල ප්‍රබලයන් සමග එක්ව ඔස්මන් මෙම ප්‍රතිප්‍රහාරය කුමන්ත්‍රණය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. ඔස්මන් පිළිබඳ තීරණාත්මක තොරතුරු අනාවරණය කර ඇත්තේ විදෙස් රටක සැඟව සිටියදී පසුගිය ඉරිදා රහස් පොලිසිය විසින් දිවයිනට රැගෙන ආ බටුවත්තේ චාමර විසිනි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලොකු හෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන අරුණ ක්‍රිෂාන්ත සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කපිල යන නිලධාරීහු මෙම පුළුල් විමර්ශනය දියත් කරති.
ගම්පහ ඔස්මන්ට අධිකරණ භූමියක් තුළ ඝාතන සැලසුම් දියත් කිරීම ආගන්තුක අත්දැකීමක් නොවේ. මීට දශක තුනකට පමණ පෙර, එනම් 1991 නොවැම්බර් 25 වැනිදා අත්තනගල්ල උසාවිය තුළදී වීරගුල පොලිසියේ එවකට ස්ථානාධිපතිව සිටි උපපොලිස් පරීක්ෂක ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේන සහ ඔහුගේ මාමණ්ඩිය වූ ගම්පහ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක එස්.පී.එච්. විජේසේකර වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ප්‍රධාන සැකකරු වූයේ මොහුය.
එකල ඔහුව අල්ලා දෙන අයෙකුට රුපියල් ලක්ෂ පහක තෑග්ගක් ද පොලිස් මූලස්ථානය මගින් නියම කර තිබුණි. ජපානයට පලාගොස් සැඟව සිටි ඔස්මන්ව 1993 දෙසැම්බර් 18 වැනිදා යළි මෙරටට රැගෙන ආවේ එවකට ගම්පහ පොලිස් අධිකාරි (පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති) ගාමිණී ද සිල්වා සහ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී නිශ්ශංක ධර්මරත්න යන මහත්වරුන් විසිනි. කෙසේ වෙතත්, දීර්ඝ නඩු විභාගයකින් පසු ඔස්මන් ඉන් නිදොස් කොට නිදහස් කෙරුණි.
මේ දිනවල තිරගත වන සිය ජීවිත කතාව අළලා නිර්මාණය වූ සිනමාපටය නරඹමින් කල්ගෙවූ ඔස්මන් ගුණසේකරට, පැය හැත්තෑ දෙකක රැඳවුම් නියෝග යටතේ දැන් යළිත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අතීතයට මුහුණ දීමට සිදුව තිබේ. ඔහු සංජීවව මැරීමට ගිනි අවිය ලබා දුන්නේ හරියටම කාගේ අතටද යන අභිරහස තවමත් ඉතිරිව පවතී.
නීතියේ දෙවඟනගේ දෑස් බැඳ තිබුණද, ලේ වැකි අතීතයක සෙවනැලි කිසිදා සදහටම සැඟවිය නොහැකි බව කාලය විසින් යළි යළිත් ඔප්පු කරමින් තිබේ.
