ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රාග්ධන ලාභ බදු (CGT) සම්බන්ධයෙන් හඳුන්වා දීමට සැලසුම් කර ඇති නව සංශෝධනවලට එරෙහිව එරට තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකයින් සහ ආරම්භක ව්‍යාපාරිකයින් (Tech founders) සිය අප්‍රසාදය පළ කර තිබේ. මේ සඳහා ඔවුන් අපූරු විරෝධතා ක්‍රමයක් තෝරාගෙන ඇති අතර, එහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට ඔවුහු කටයුතු කළහ.
අග්‍රාමාත්‍යවරයා තම සමාගම්වල නව සම-නිර්මාතෘවරයා ලෙස පෙනී සිටින ආකාරය, කාර්යාලයේ නිදාගන්නා ආකාරය, ජංගම දුරකථනය පරිශීලනය කරන ආකාරය මෙන්ම ව්‍යායාම මධ්‍යස්ථානවල සිටින ආකාරය දැක්වෙන උපහාසාත්මක රූප රාමු ඒ අතර වේ. බදු වැඩි කිරීම හරහා නව ව්‍යාපාරවල සේවය කිරීමට පුද්ගලයින් තුළ පවතින උනන්දුව නැති වී යා හැකි බවත්, බොහෝ ව්‍යවසායකයින් රට හැර යාමට පෙළඹෙනු ඇති බවත් ඔවුහු අනතුරු අඟවති.පවත්නා සියයට 50 ක බදු සහනය ඉවත් කර, උද්ධමනයෙන් පසු ලාභය මත බදු අය කෙරෙන "පිරිවැය පදනම් දර්ශකකරණයක්" (cost-base indexation) සහ සියයට 30 ක අවම බදු අනුපාතයක් හඳුන්වා දීමට රජය සැරසෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ව්‍යවසායකයින් පවසන්නේ නව බදු ප්‍රතිපත්තිය යටතේ උපයන ලාභයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් රජයට දීමට සිදුවන බැවින් ව්‍යාපාරයක් දියුණු කිරීමට ඇති දිරිගැන්වීම් අහිමි වන බවයි. මුල් අවධියේ පවතින ව්‍යාපාරවලට ඉහළ වැටුප් ගෙවීමට නොහැකි නිසා සේවකයින් ආකර්ෂණය කර ගැනීමට කොටස් හිමිකාරිත්වයන් (equity or stock options) ලබා දෙන අතර, මෙම බදු වෙනස්කම් හේතුවෙන් එම ක්‍රමවේදය ද අසාර්ථක වීමේ අවදානමක් මතුව ඇත. සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් නව ව්‍යවසායකයින් ආකර්ෂණය කර ගැනීමට විශාල සහයෝගයක් දක්වන පසුබිමක, ඕස්ට්‍රේලියානු රජය තමන්ව අත්හැර දමා ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
කෙසේ වෙතත් මෙම විරෝධතා මධ්‍යයේ වුවද, ආරම්භක ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවශ්‍ය සහාය ලබා දීමට සහ උපදෙස් ලබා ගැනීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර තිබේ. පර්යේෂණ සහ සංවර්ධන කටයුතු (R&D) සඳහා ලබා දෙන බදු සහන සහ ක්ෂණික වත්කම් කපා හැරීම් (instant asset write-offs) වැනි ක්‍රමවේද හරහා ව්‍යවසායකයින් දිරිමත් කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ අතර ආර්ථික විද්‍යාඥයින් කිහිපදෙනෙකු ද පවසා ඇත්තේ බදු ලිහිල් කිරීම වෙනුවට පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා සෘජු දිරිගැන්වීම් ලබා දීම වඩාත් ප්‍රායෝගික වන බවයි. වත්කම් සහ ශ්‍රමය මත පදනම් වූ ආදායම් සමාන මට්ටමකින් බදුකරණයට ලක් කිරීමේ රජයේ පුළුල් ක්‍රියාවලියට ඇතැම් ආර්ථික විශ්ලේෂකයින්ගේ සහය පළ වී තිබුණ ද, තාක්ෂණික කවුන්සිලය ඇතුළු ව්‍යාපාරික සංවිධාන පවසන්නේ නව ව්‍යාපාර සඳහා වන අවදානම් සහගත ආයෝජන දිරිමත් කිරීමට තවදුරටත් රජය මැදිහත් විය යුතු බවයි.
