the-secret-of-the-painting-portrait-of-a-young-girl-looted-by-the-nazis-is-revealed

ජර්මනියේ නාසි හමුදාව විසින් කොල්ලකන ලදුව දශක ගණනාවක් පුරා ලන්දේසි එස්.එස්. ජෙනරාල්වරයෙකුගේ නිවසේ රහසිගතව සඟවා තිබූ 'Portrait of a Young Girl' නම් සිතුවමේ අඳුරු අතීතය හෙළි කර ගැනීමට සුප්‍රකට කලා රහස් පරීක්ෂකයෙකු සමත්ව තිබේ.

ඒ අනුව ටූන් කෙල්ඩර් නම් ලන්දේසි කලාකරුවා විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවම, එහි නියම අයිතිකරුවන් වන යුදෙව් පවුලේ උරුමක්කාරයන් වෙත නැවත ලබා දීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.




කලා ලොවේ 'ඉන්ඩියානා ජෝන්ස්' ලෙස ප්‍රකට ආතර් බ්‍රෑන්ඩ් නම් පෞද්ගලික රහස් පරීක්ෂකවරයා විසින් මෙම දුර්ලභ සිතුවම පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ ජෙනරාල් හෙන්ඩ්‍රික් සෙයිෆාර්ඩ්ගේ පවුලේ සාමාජිකයෙකු මගිනි. සිය පවුලේ සාමාජිකයන් සන්තකයේ නාසි හමුදාව කොල්ලකෑ සිතුවමක් තිබීම පිළිබඳව දැඩි පසුතැවීමකින් පසුවූ මෙම පුද්ගලයා, තැරැව්කරුවෙකු මාර්ගයෙන් ආතර් බ්‍රෑන්ඩ් වෙත මෙම රහස හෙළි කර තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිය පවුලේ නාමය පවා වෙනස් කරගෙන සිටි එම පරපුරේ සාමාජිකයන් අතර මෙම සිතුවම කිසිදා අලෙවි කළ නොහැකි රහසිගත උරුමයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

මෙම සිතුවමේ පිටුපස අලවා තිබූ ලේබලයක් පරීක්ෂා කිරීමෙන් පසුව එය ජැක් ගුඩ්ස්ටිකර් නම් යුදෙව් කලා වෙළෙන්දාගේ එකතුවට අයත් වූවක් බව තහවුරු කිරීමට බ්‍රෑන්ඩ් සමත්ව තිබේ. නාසි හමුදාවෙන් පලා යන අතරතුර 1940 වසරේදී ගුඩ්ස්ටිකර් නැවකදී මියගිය අතර, ඉන් පසුව ඔහුගේ සිතුවම් එකතුව ජර්මානු හමුදාවේ ඉහළ නිලධාරියෙකු වූ හර්මන් ගෝරින් විසින් අත්පත් කරගනු ලැබ ඇත. පසුව සිදු වූ වෙන්දේසියකදී ජෙනරාල් හෙන්ඩ්‍රික් සෙයිෆාර්ඩ් විසින් මෙය මිලදී ගෙන පවුලේ උරුමයක් ලෙස සිය ඥාතීන්ට පවරා තිබේ.




ජෙනරාල්වරයාගේ පවුලේ උරුමක්කාරයන් ප්‍රකාශ කර ඇත්තේ සිතුවමේ මෙවැනි බරපතල ඉතිහාසයක් පිළිබඳව තමන් මීට පෙර දැනුවත් නොවූ බවයි. මේ වන විට අදාළ පවුල විසින් සිතුවම රහස් පරීක්ෂකවරයා වෙත භාර දී ඇති අතර, ජැක් ගුඩ්ස්ටිකර්ගේ උරුමක්කාරයන්ගේ නීතිඥයන් හරහා එය නිල වශයෙන් භාර දීමේ කටයුතු සිදු කෙරේ. පිකාසෝ සහ වැන් ගෝ වැනි ශිල්පීන්ගේ අතුරුදහන් වූ නිර්මාණ රැසක් මීට පෙර සොයා දුන් ආතර් බ්‍රෑන්ඩ් හට මෙම සිදුවීම සිය වෘත්තීය ජීවිතයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වී තිබේ.

the-secret-of-the-painting-portrait-of-a-young-girl-looted-by-the-nazis-is-revealed