ගාල්ල හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේ නවාතැන්පොළකට එල්ල වූ අකුණු ප්‍රහාරයකින් කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ඛේදවාචකයෙන් තවත් සේවිකාවකට බරපතළ පිළිස්සුම් තුවාල සිදුව ඇති බව හබරාදුව පොලිසිය තහවුරු කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ විසිහය හැවිරිදි වියේ පසුවූ ඉමාෂා මධුභාෂිණි හිතවංශ නමැති තරුණියකි. අද (03) අලුයම 12.30 ට පමණ ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනයත් සමඟ අදාළ නිවසට අකුණු සැර වැදී ඇති අතර, ඒ වන විටත් මෙම ඇඟලුම් සේවිකාවන් දෙදෙනා එහි නේවාසිකව රැඳී සිට ඇත.
ඔවුන් සිටි කාමරයට අකුණු සැර වැදීමෙන් අනතුරුව ඇතුළත උපකරණ පිළිස්සී ගොස් ඇත. අකුණ ගමන්කර ඇත්තේ කෙලෙසකද යන්න තවම පරීක්ෂා කෙරෙමින් පවතී.
අනතුරින් පසු වහාම 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ සහාය ඇතිව තුවාලකාරියන් දෙදෙනා ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, එක් තරුණියක් රෝහලට රැගෙන එන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත තහවුරු කළේය. අකුණු සැර වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අනෙක් සේවිකාව මේ වන විට එම රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.
