
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවකට තවත් සිදුවීමක් මේ වන විට එක්ව තිබේ. ඒ, ඩෙල්ෆ්ට් දූපත වෙත ගමන් කරන බෝට්ටුවක දී ආරක්ෂිත කබාය (Life jacket) පැළඳීම ප්‍රතික්ෂේප කරමින් සෙසු මගීන්ට අපහසුතාවක් වන අයුරින් කටයුතු කිරීම සහ ඔවුන් සමග වාදයකට පැටලීමේ සිදුවීමකි.
වාර්තා වන අන්දමට මෙම සිදුවීම වී ඇත්තේ මන්ත්‍රීවරයා ඇතුළු තවත් දෙදෙනෙකු ඩෙල්ෆ්ට් දූපත වෙත යාම සඳහා බෝට්ටුවකට ගොඩ වූ අවස්ථාවේදීය. එහිදී බෝට්ටුවේ ගමන් ගන්නා සියලුම මගීන් අනිවාර්යයෙන්ම ආරක්ෂිත කබා පැළඳිය යුතු බවට එහි සිටි නිලධාරීන් විසින් දැනුම් දී ඇති නමුත්, මන්ත්‍රීවරයා එය ගණනකට නොගෙන ක්‍රියා කර ඇත. ආරක්ෂිත කබාය නොපළඳින්නේ නම් බෝට්ටුව පිටත් කළ නොහැකි බවට එහි සිටි වගකිවයුතු නිලධාරියා ප්‍රකාශ කිරීම හේතුවෙන් සෙසු මගීන්ට දැඩි හිරු රශ්මිය මධ්‍යයේ පැය භාගයක පමණ කාලයක් බලා සිටීමට සිදුව තිබේ.
මෙම ප්‍රමාදය හේතුවෙන් අපහසුතාවට පත් වූ සෙසු මගීන් මේ පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී ඔහු දැඩි ලෙස කෝපයට පත්ව ඇත. එහිදී ආරක්ෂිත කබාය පිළිබඳ ගැටලුවට කිසිසේත්ම අදාළ නොවන අතීත සිදුවීම් සහ ජාතිවාදී අදහස් ඉස්මතු වන ආකාරයෙන් ඔහු අදහස් දක්වා ඇති බවට මගීන් චෝදනා කරති. විශේෂයෙන්ම, දකුණේ ජනතාව පැමිණ උතුරේ ජනතාවට අතීතයේදී කළ හිරිහැර පිළිබඳව සඳහන් කරමින් ඔහු මෙම සාමාන්‍ය සිදුවීම දේශපාලනීකරණය කිරීමට උත්සාහ කර තිබේ. ඉන් අනතුරුව එම මගීන්ව වීඩියෝ ගත කර ඇති මන්ත්‍රීවරයා, ඔවුන් ජාතිවාදීන් ලෙස හුවා දක්වමින් අදාළ දර්ශන සිය සමාජ මාධ්‍ය ගිණුමක පළ කිරීමට ද කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මගීන්ගේ දැඩි විරෝධය හමුවේ අවසානයේදී ඔහුට ආරක්ෂිත කබාය පැළඳීමට සිදු වී තිබේ.
මේ අතර, ගිනිඅවියක් පෙන්වා කාන්තාවකට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පසුගිය 29 වනදා මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබීය. යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින ඉඩමක් එළි පෙහෙළි කරමින් සිටියදී, එහි අයිතිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම තර්ජනය කිරීම සිදු කර තිබිණි. එම සිද්ධියට අදාළව ඉලවාලෙයි පොලීසිය විසින් මන්ත්‍රීවරයා මෙන්ම අදාළ කාන්තාව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
