තම කාමරයේ පානය කිරීමට ජලය තිබියදීත් මහා රෑ මුළුතැන්ගෙයට පැමිණි ඔහු සේවකයාට හමුවීමත්, අදාළ නිවෙස් දෙකකම එකවර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමත් කපිල චන්ද්‍රසේනගේ මරණය තවත් අබිරහසක් බවට පත් කර තිබේ.
හිටපු ශ්‍රී ලංකන් ගුවන් සේවා ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය පිළිබඳ මරණ පරීක්ෂණය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී යළි විභාගයට ගැනුණු අතර, එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු ඔස්සේ මෙම මරණයේ අඳුරු සහ සැකකටයුතු ස්ථාන ගණනාවක් නිරාවරණය විය.
අවසන් වරට ඔහුට පණපිටින් කතා කළ සේවකයාගේ සහ කාමරය සකසා දුන් සේවිකාවගේ සාක්ෂි හමුවේ මරණයට පෙර රාත්‍රිය ගෙවී ගිය අයුරු සිතුවම් වෙයි. රාත්‍රී දොළහට පමණ කපිල මහතාට තේ කෝප්පයක් සාදා දුන් නිවසේ සේවකයා, අලුයම එකයි කාලට පමණ අවදිවන විටත් මුළුතැන්ගෙයි විදුලි පහන් දැල්වෙමින් තිබෙනු දැක ඇත. එහි ගොස් බලන විට කපිල මහතා සුදු පැහැති ප්ලාස්ටික් බෝතලයක් අතැතිව ජල පෙරහනය අසල සිටිනු ඔහු දැක තිබේ. කාමරයේ වතුර තිබියදීත් ඔහු පහළට පැමිණීම මෙන්ම, දහවල් කාලයේ හැඳ සිටි ඇඳුමින්ම අලුයම දක්වාත් ඔහු සිටීම දැඩි කුතුහලයක් දනවන කරුණකි. එසේම, එදින රාත්‍රියේ දහයයි තිහට පමණ කපිල මහතාගේ කාමරය සූදානම් කළ ජයශීලා නමැති සේවිකාව පවසන්නේ, ඇප ලබාදීම සම්බන්ධයෙන් කතාබහ කිරීමට පැමිණි පිරිස පිටව ගිය පසුත් කපිල සහ අරවින්ද මහත්වරුන් සමඟ තවත් නාඳුනන පුද්ගලයෙකු නිවසේ රැඳී සිටි බවයි.
මෙම සිදුවීම් මාලාව තවත් සංකීර්ණ වන්නේ තාක්ෂණික සාක්ෂි ද අද්භූත ලෙස අතුරුදන්ව ඇති පසුබිමකය. අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ මෙන්ම බාන්ස් පෙදෙසේ පිහිටි කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේද සීසීටීවී කැමරා පද්ධති ක්‍රියාත්මකව තිබුණද, ඒවායේ කිසිදු දර්ශනයක් පටිගත වී නොමැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මුළුතැන්ගෙයද ඇතුළුව ස්ථාන පහක කැමරා සවිකර තිබූ බවත්, ඒවා පටිගත වන ආකාරයටම සකසා තිබූ බවත් එම පද්ධතිය සවිකළ ආයතනයේ නියෝජිතයා සාක්ෂි දෙමින් තහවුරු කර ඇත. කෙසේ වෙතත්, මේ වන විට අදාළ දත්ත ගබඩා (DVR) යන්ත්‍ර තුළ වූ දර්ශන මකාදැමීමක් සිදුකර ඇත්දැයි සෙවීම සඳහා ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණ අවසරය ලැබී තිබේ.
මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් වන විමර්ශනවල කැපී පෙනෙන හිඩැසක් ද මහේස්ත්‍රාත්වරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. එනම්, මරණය සිදුවූ දා රාත්‍රියේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට පැමිණි ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සටහන් කරගෙන නොතිබීමයි. ඔවුන් වෙනත් සිද්ධියකට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පොලීසිය පැවසුවද, බන්ධනාගාරය තුළදී හෝ ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමට පියවර නොගැනීම විමර්ශනවල ඇති බරපතළ දුර්වලතාවක් බව අධිකරණයේදී අවධාරණය විය. මීට අමතරව, අමුතු ආකාරයකට පැති නවයකට සහ එකොළහකට නවා තිබූ කඩදාසිවල එතූ හඳුනා නොගත් ඖෂධ වර්ග දෙකක් සහ කපිල මහතාගේ රුධිර සාම්පල ද සංසන්දනය කර රස පරීක්ෂක වාර්තා කැඳවීමට නියමිතය.
සියල්ල සිදුවී අවසන් වන විට අඳුරු කාමරයක ගෙල වටා එතූ රෙදි පටියක් ද සමඟ බිම වැටී සිටි ඔහු සැබවින්ම සියදිවි නසාගත්තේද, නැතහොත් මේ අක්‍රිය වූ කැමරා සහ නිහඬ වූ සාක්ෂිකරුවන් අතර වෙනත් ඛේදවාචකයක් සැඟවී තිබේද යන්න තවමත් නීතිය ඉදිරියේ පිළිතුරු අපේක්ෂා කරන බිහිසුණු ප්‍රහේලිකාවකි.
