when-cases-are-filed-when-they-are-no-longer-special-some-people-get-mad---president

අද (19) විජයග්‍රහණ සැමරුමට එක්වෙමින් ජනපති පැවැත්වූ කතාවෙන් කොටසක් මෙසේය. "අනිසි වරප්‍රසාද නැතිව, සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, මැලේ වේවා, සෑම පුරවැසියෙකුටම සමාන වරප්‍රසාද සහිතව ජීවත්වීමේ නිදහස සහතික කිරීම අපගේ වගවීමක් විය යුතුයි.

මිනිස් අයිතිවාසිකම්, මිනිස් වගකීම් සහ මිනිස් වරප්‍රසාද සියල්ලන්ටම එකයි යන හැඟීම අපේ සමස්ත ජීවිතවලට ඇතුළත් කළ යුතුයි.




මෙය අපේ සමාජ ඛේදවාචකයකි. අපේ සමාජය පුරුදු වී තිබුණේ මහා බලධාරීන් ඉදිරිපිට දණ ගාගෙන ජීවත් වීමටයි. එසේ නැත්නම් බියට පත්වී ජීවත් වීමටයි. එහිදී තත්වයන් දෙකක් තිබුණා. එක් පුරුද්දක් තමයි මහා බලය හිමි කණ්ඩායම් ඉදිරිපිට දණ ගාගෙන ජීවත් වීම. එසේ නැත්නම් මහා බලවත් කණ්ඩායම්වලට බියෙන් ජීවත් වීම ඔවුන්ට පුරුදුයි. හැබැයි සමහර කණ්ඩායම්වලට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත් වී පුරුදු නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යනු හැම කෙනෙකුගේම ගෞරවය ආරක්ෂා කරන දෙයකි. එය හැම කෙනෙකුගේම වටිනාකම් ආරක්ෂා කරනු ලබයි. හැම කෙනෙකුටම සම අයිතිවාසිකම් ලැබීම ඔවුන්ට පුදුම දෙයකි. හැබැයි තවත් කණ්ඩායම් ඉන්නවා, ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුළ ජීවත් වී පුරුදු නැහැ. ඔවුන් කැමති ගැටුම්වලටයි, අපහාසවලටයි, අවලාදවලටයි. මේක අපේ රාජ්‍යයයි. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් කැප වී සිටිනවා.




හැකියාව, දක්ෂතාව සහ කුසලතාව ඇති සියලුදෙනාටම ඉදිරියට එන්නට හැකි රටක් නිර්මාණය කළ යුතුයි. විශේෂ වරප්‍රසාදවලින් වැජඹුණු සමහරුන්ට එය වේදනාවට කාරණයක් වෙන්න පුළුවන්. සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන වීම, අති විශේෂ වරප්‍රසාද ලැබූ කණ්ඩායම්වලට වේදනාවට කාරණයක් වෙන්න පුළුවන්. තමන් විශේෂ යැයි සිතමින් ඔවුන් අනෙකාව පීඩාවට පත් කළා. තමන් තවදුරටත් විශේෂ නොවීම නිසා ඔවුන් කලබල වෙන්න පුළුවන්. තමන් විශේෂ යැයි සිතා කටයුතු කළ ඔවුන්, තමන් නීතියට වඩා උඩින් ඉන්නවා යැයි හිතුවා. තමන්ට විශේෂ වරප්‍රසාද තිබිය යුතු යැයි ඔවුන් සිතුවා. හැබැයි ඒවා අහිමි වෙනකොට, තමන් විශේෂ නොවීම නිසා ඔවුන් කලබල වෙන්න පුළුවන්."

ඉතිහාසයේ කිසි දවසක නොවුණු විදිහට තරාතිරම නොබලා නීතිය හඹා ඒම ගැන ඔවුන් වියරු වැටෙන්න පුළුවන්. නමුත් අපි සර්ව සාධාරණත්වය උදෙසා කොන්දේසි විරහිතව කැප වී සිටිනවා. ජනතාවගේ අභිලාෂයන් තිරසාරව ඉටු කරනු ඇතැයි මා හිතනවා. මේ මියගිය රණවිරුවන්ගේ ප්‍රාර්ථනයත් එයයි. නීතියට උඩින් ඉන්න වරප්‍රසාද ලත් පිරිසක් බිහි වනු දැකීමට ඔවුන් කිසිවෙක් ප්‍රාර්ථනා කළේ නැහැ. සාමාන්‍ය සමාජයේ තියෙන පොදු රීතීන්ට උඩින් ඉන්න පිරිසක් බිහිවනු දැකීමට ඔවුන් කිසිවෙක් ප්‍රාර්ථනා කළේ නැහැ.