ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ට එරෙහිව පවරා ඇති නඩු හතරක තීන්දුව ලබාදීම කොළඹ මහාධිකරණය විසින් ලබන ජූනි මස 09 වැනිදා දක්වා කල්දමා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති මෙම නඩු අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. අදාළ නඩුවල තීන්දු අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට මීට පෙර අධිකරණය විසින් නියම කර තිබුණි.
කෙසේ වෙතත්, නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් දැනුම් දුන්නේ අදාළ තීන්දු මේ වන විටත් ප්‍රකාශයට පත් කිරීම සඳහා සූදානම් කර නොමැති බවයි. එම කරුණ පදනම් කරගනිමින් නඩු තීන්දු ප්‍රකාශය මෙලෙස ජූනි මස 09 වනදා දක්වා කල්දැමීමට විනිසුරුවරයා නියෝග කළේය.
2006 වර්ෂයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සේවය කරමින් සිටියදී අදාළ ආයතනය වෙත කුලී පදනම මත වාහන ලබාගැනීමේ ක්‍රියාවලියක් හරහා රජයේ මුදල් අවභාවිතා කරමින් මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩු හතර පවරා ඇත.