පෞද්ගලික වාහනයක් මිලදී ගැනීම සඳහා ලබාගත හැකි උපරිම ණය සීමාව එම වාහනයේ වටිනාකමින් සියයට 40ක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගැනීමත් සමඟ, මෙරට සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාහන ආනයනකරුවෝ පවසති. වත්මන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවන තත්ත්වය තවමත් අපේක්ෂිත මට්ටමට ඉහළ ගොස් නොමැති පසුබිමක, මෙම නව නියාමනය හේතුවෙන් පොදු මහජනතාව දැඩි පීඩාවකට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.
සාමාන්‍ය වැටුප් ලබන සේවකයන්ට සහ මධ්‍යම පාන්තිකයන්ට පවතින ආදායම් තත්ත්වයන් යටතේ එකවර අත්පිට මුදල් ගෙවා වාහනයක් මිලදී ගැනීම ප්‍රායෝගික නොවන අතර, ඔවුන් මෙතෙක් මෙවැනි අවශ්‍යතා සපුරා ගත්තේ මූල්‍ය ආයතන මඟින් ලබාදෙන ණය පහසුකම් මත පමණි.වාහනයක සමස්ත වටිනාකමෙන් සියයට 60ක මූලික මුදලක් තමන් සන්තකයෙන් සොයා ගැනීමට සිදුවීම සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි බරක් වන අතර, මෙරට තුළ අත්පිට මුදලට වාහන මිලදී ගනු ලබන්නේ ඉතා සීමිත පිරිසක් පමණක් බව ක්ෂේත්‍රයේ නිරතවූවෝ සඳහන් කරති. ආනයනකරුවන් විශාල පිරිවැයක් දරමින් වාහන මෙරටට ගෙන්වුවද, රජය විසින් ජනතාව සතු මිලදී ගැනීමේ ශක්තිය සීමා කිරීම හේතුවෙන් සමස්ත වාහන කර්මාන්තයම ඉදිරියේදී දැඩි කඩා වැටීමකට ලක්වීමේ අවදානමක් මතුව ඇත. මෙම තත්ත්වය හමුවේ ඉදිරි කාලසීමාවේදී වාහන ආනයනය ද සැලකිය යුතු මට්ටමකින් පහළ යා හැකි අතර, සැපයුම සීමා වීමත් සමඟ වෙළෙඳපොළේ වාහන මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම දැනටමත් දේශීය වෙළෙඳපොළ තුළ බහුලව භාවිත වන සුසුකි ඇල්ටෝ සහ වැගන් ආර් වැනි රථවල මිල ගණන් රුපියල් ලක්ෂ 8ත් 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ලංකාව තුළ වැඩිම ඉල්ලුමක් පවතින්නේ ද මෙවැනි පෞද්ගලික පරිහරණය සඳහා ගන්නා වාහනවලට වීම විශේෂත්වයකි.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගු මහතා ප්‍රකාශ කරන්නේ, වාණිජ වාහන සඳහා සියයට 60ක සහ පෞද්ගලික වාහන සඳහා සියයට 40ක ණය සීමාවක් පැනවීමට මහ බැංකුව ගත් තීරණය ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සෘජුවම අඩාල කරන්නක් බවයි. මහ බැංකුවේ මෙම ක්‍රියාමාර්ගයේ මූලිකම අරමුණ වී ඇත්තේ රට තුළට වාහන ආනයනය කිරීම පාලනය කිරීම වන අතර, විකිණීමේ හැකියාව සීමා කිරීම හරහා වාහන අලෙවිය විශාල වශයෙන් පහළ බසිනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. රජය විසින් වාහන ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණද, ඒවා අලෙවි කිරීමට ඇති අවස්ථා සීමා කිරීම පරස්පර විරෝධී බවත්, මේ සම්බන්ධයෙන් මීට වඩා කල්වේලා ඇතිව නිසි තීරණයකට එළැඹිය යුතුව තිබූ බවත් හෙතෙම පවසයි.
මෙම නව ණය සීමා පැනවීම පාවිච්චි කරන ලද වාහන වෙළෙඳපොළ කෙරෙහි සෘජු බලපෑමක් ඇති නොකරනු ඇතැයි විශ්වාස කළද, සමාජ ආරක්ෂණ බද්ද සහ පවතින අනෙකුත් අධිභාරයන් ද සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී වාහන මිල තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැකි බව උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. විශේෂයෙන්ම ආනයනය කරනු ලබන වාහන දින 90ක් ඇතුළත අලෙවි කළ යුතු බවට පවතින කොන්දේසි හේතුවෙන්, ආනයනකරුවන් දැනට මෙරටට ගෙන්වනු ලබන්නේ එක් මාසයකට පමණක් සෑහෙන වාහන ප්‍රමාණයක් බැවින්, වෙළෙඳපොළ තුළ ඇති වන හිඟය ද මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් වනු ඇත.
