australias-federal-police-help-track-25-million-fraud

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. නිලධාරී ප්‍රකාශයන්ට අනුව, සයිබර් ප්‍රහාරකයින් විසින් මෙලෙස කොල්ලකා ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් සිය ණය සේවාකරණයේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවීමට නියමිතව තිබූ මුදලකි.

මෙම මූල්‍ය අපරාධය පිළිබඳ කෙරෙන පරීක්ෂණ සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත මේ වන විට විශේෂ සහයක් ලබාදෙමින් පවතී.




දැනට කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය යටතේ සේවය කරන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් මෙම විමර්ශන කටයුතු සඳහා සක්‍රීයව සිය දායකත්වය සපයනු ලබයි. දෙරට අතර පවතින විධිමත් එකඟතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදෙන මෙම සහයෝගය ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා ප්‍රකාශ කර තිබේ.

විමර්ශනවලින් වැඩිදුරටත් හෙළි වී ඇති පරිදි, ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත යැවීමට සූදානම් කර තිබූ ගෙවීම් වවුචර හයකින් හතරක්ම මෙම සයිබර් අපරාධකරුවන් විසින් ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන තිබේ. මෙම මුදල් හුවමාරු කිරීම සඳහා අමෙරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ලියාපදිංචි කර ඇති "Biz Solutions" නම් මාර්ගගත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සේවා සපයන තෙවන පාර්ශ්වීය සමාගමක් භාවිත කර ඇති අතර, අවසන් ගනුදෙනු වවුචර දැඩි බැංකු නීති රීති පවතින වෙනත් අමෙරිකානු ප්‍රාන්තයක ගිණුම් වෙත සම්බන්ධ වී ඇති බව ද වාර්තා වේ.




මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් සහ අමෙරිකානු තානාපති කාර්යාලය හරහා FBI නියෝජිතයින් සම්බන්ධකරගෙන මෙම සිදුවීමට අදාළව තානාපති කාර්යාල පරිශ්‍රයේදීම පුළුල් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. සොරකම් කරන ලද මුදල් අවසාන වශයෙන් තැන්පත් වූ නිශ්චිත ගිණුම් පිළිබඳව මෙතෙක් අවසන් තහවුරු කරගැනීමක් සිදු කර නොමැති වුවද, අමෙරිකානු බලධාරීන් මෙම විමර්ශනය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ පූර්ණ සහයෝගය ලබා දීමට මෙන්ම, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අමෙරිකාව තුළ සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද එකඟතාව පළ කර ඇත.