අද පැවති කැබිනට් තීරණ දන්වන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමති විජිත හේරත්ගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නය හා අදාළ පිළිතුර මෙසේය.
ප්‍රශ්නය
විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවයට ද, විශේෂයෙන්ම යුද්ධය නිමාවන කාලයේ මේ රටේ ඊට නායකත්වය දුන් රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කිරීමක් කළේ නැද්ද?
පිළිතුර
"මේ සඳහා ආරාධනා කර තිබෙන්නේ, ඇත්තටම ගත්තොත් සහභාගි වෙන්නේ ජනාධිපතිතුමා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමායි. ඒ වගේම, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමා වෙනුවට එහි නියෝජ්‍ය අමාත්‍යතුමා සහභාගි වෙනවා. ඒ අය තමයි අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා විදිහට මීට මැදිහත් වෙන්නේ. අනෙක් අය අතරේ ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අයයි. ඊට අමතරව වෙනත් දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා කළේ නැහැ."
ප්‍රශ්නය
විජයග්‍රහණයේ සැමරුම අපට මතකයි. එදා සාමයෙන් පස්සේ අවුරුදු ගණනාවක් ඉතාමත් උත්සවශ්‍රීයෙන්, රණවිරු අභිමානය ලොවට පෙනෙන ආකාරයෙන් ඊට ඉහළ ගෞරවයක් දීලා පැවැත්වූවත්, ඉන් පස්සේ ආපු ආණ්ඩු එය නැවැත්වූවා. ඔබතුමන්ලාගේ අරමුණත් මේක මේ ආකාරයෙන්ම පවත්වාගෙන යාමද? මොකද, වෙල්ලමුල්ලිවයික්කාල් වගේ ප්‍රදේශවල සමහරුන් ජන සංහාර සතියක් සමරන අතර, ඒවා මර්දනය කිරීමක් හෝ නැවැත්වීමක්වත් සිදුවෙන්නේ නැහැ.
පිළිතුර
"විවෘතවම කිව්වොත්, අපි කවුරුත් අකමැති වූ යුද්ධයකට රට මුහුණ දුන්නා. ඒ යුද්ධයෙන් මියගිය, විපතට පත් වූ, ඒ වගේම ආබාධිත තත්ත්වයට පත් වූ සියලු දෙනාම අනුස්මරණය කිරීමේ අයිතිය සියලුම ජාතිකත්වයන්ට තියෙනවා. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා සියලු ජනතාවට තමන්ගේ ඥාතීන්, තමන්ගේ දෙමව්පියෝ හෝ දරුවෝ මිය ගියානම් ඒ අය අනුස්මරණය කිරීමේ අයිතිය හැමෝටම තියෙනවා. ඒ අයිතිය අපි උපරිමයෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිදහස අපි හැමෝටම ලබා දීලයි තියෙන්නේ."
