
ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (30) දිනයේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. පද්ධතියේ ස්ථායීතාවය සුරක්ෂිතව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, අද දිනයේ විදුලිය සඳහා පවතින අඩු ඉල්ලුම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවද සඳහන් කළේය.
කෙසේ වුවද, දැනට විදුලි සැපයුම බිඳවැටී ඇති ප්‍රදේශ සඳහා එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.මේ අතර, වෙසක් උත්සව සමය තුළ ජාතික විදුලිබල පද්ධතියේ ක්‍රියාකාරිත්වය විශ්වාසනීය සහ ස්ථාවර මට්ටමක තබා ගැනීම සහතික කිරීම සඳහා දිවයින පුරා සිටින වහල මත සවිකළ සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට නැෂනල් සිස්ටම් ඔපරේටර් (පෞද්ගලික) සමාගම (NSO) පියවර ගෙන තිබේ. ඒ අනුව, අද පස්වරු 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය බල පද්ධති ක්‍රියා විරහිත කර තබන ලෙස එම සමාගම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටී. පද්ධතිය තුළ දැනට පවතින විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ජාලයේ ස්ථායීතාව සුරැකීමට නම් මෙලෙස ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව එම සමාගම පෙන්වා දෙයි.
මෙම උත්සව සමයේදී දිවයිනේ සියලුම පාරිභෝගික ජනතාව වෙත අඛණ්ඩ මෙන්ම ආරක්ෂිත විදුලි සැපයුමක් ලබා දීමට නම් මහජනතාවගෙන් ලැබෙන සහයෝගය අතිශයින්ම වැදගත් වන බව එම ක්‍රියාකරු අවධාරණය කරයි. ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය සහ ස්ථාවරභාවය රැකගැනීම සඳහා ලබාදෙන සක්‍රීය දායකත්වයක් ලෙස, මෙම තාවකාලික පියවර කෙරෙහි අනුකූල වන ලෙස වහල මත සූර්ය පැනල සවිකර ඇති පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
