arrest-police-security-only-pallegama-thera-continues-navaloke

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ චෝදනාවට අදාළ නඩුව ඊයේ (මැයි 12) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනිණි. කෙසේ වෙතත්, කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන සැකකාර හිමිනම රෝහලෙන් පිටතට ගෙන යාමට වෛද්‍යවරුන් මෙතෙක් අවසර ලබා දී නොමැති බැවින් උන්වහන්සේ අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චම්මික ගජනායක මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

පල්ලෙගම හිමි දිගටම නවලෝක රෝහලේ සුවෙන් ගතකර ඇති අතර බන්ධනාගාරය හෝ උසාවිය දැක නැත. පොලිස් ආරක්සාව ඊයේ වනතුරු ලබාදී උසාවි ‍නියෝගයක් නැති නිසා ඊයේ සිට ඉවත්වීමට සිදුවිය.




අධිකරණයේදී සැකකාර හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයාට එල්ල වී ඇති ලිංගික අපයෝජන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. පැමිණිල්ල මෙහෙයවමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකාර හිමිනම යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව මෙම නඩුව ලබන 15 වන සිකුරාදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය මැයි 08 වනදා නිට්ටඹුව පොලිසිය විසින් ස්ත්‍රී දූෂණය සහ බරපතළ ලිංගික අපයෝජනය යන චෝදනා යටතේ නවලෝක රෝහලේදී අදාළ හිමිනම අත්අඩංගුවට ගත් අතර, එදින රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා උන්වහන්සේ අද (12) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ඊට අමතරව වෛද්‍ය උපදෙස් මත සැකකාර හිමිනම නවලෝක රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසද එහිදී නියෝග කෙරිණි. එම නියෝගයට අනුව සැකකාර හිමිනම අද දිනයේ අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් නවලෝක රෝහල වෙත ලිඛිතව දැනුම් දී තිබියදීත්, වෛද්‍යවරුන්ගේ අවසරය නොලැබීම මත හිමිනම තවමත් එම පෞද්ගලික රෝහලේම රැඳී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එසේම හිමිනමට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා පිළිබඳව තමන් දැනුවත් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




මේ අතර, මෙම අපයෝජන සිද්ධියට මුහුණ දුන් බව කියන බාලවයස්කාර දැරියගේ මවද මේ වන විට අත්අඩංගුවට ගෙන ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ දැරිය අධිකරණ නියෝගයකට අනුව මේ වන විට ළමා සුරක්ෂා මධ්‍යස්ථානයක රඳවා සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.