
නිර්මල කහ සිවුරේ මුවාවෙන් සිදුවූ අඳුරු අපරාධයක රහස් අධිකරණය හමුවේ දිගහැරෙද්දී, මුළු මහත් සමාජයකම හෘද ස්පන්දනය මොහොතකට නතර විය. අද අධිකරණයේදී හිමි නම බේරාගන්නට සාක්ෂි අඩුවෙන් කියන පොලිසිය හා දැරිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට ළමාආරක්ෂක අධිකාරිය දැක්වූ සටන නිරූපණය විය.
ඇප ලබාගැනීමේ අදහසින් ඉතාම ලඝු කොට සාක්ෂි ඉදිරිපත් කරමින් පොලිසිය දැක්වූ පක්ෂපාතී හැසිරීම කාගේත් කථාබහට ලක්විය.බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ අමානුෂික චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට ගිජුව තම ලෙයින් උපන් දියණියව එම අපරාධයට බිලිදීමට චේතනාන්විතවම ආධාර අනුබල දුන් බව කියන මව, දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිදු වික්‍රමරත්න මහතා අද (22) නියෝග කළේය. ඒ අනුව සැකකාර හිමියන්ට රුපියල් ලක්ෂ පනහක් වටිනා ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් නියම වූ අතර, දැරියගේ මවට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි. විදේශගත වීම දෙපාර්ශ්වයටම තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට කුමන හෝ බලපෑමක් එල්ල කළ බවට වාර්තා වුවහොත් වහාම ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද දැඩිව අවවාද කළේය.
මෙම ඛේදවාචකයේ සැබෑ වින්දිතයා බවට පත්ව ඇත්තේ සිය ආරක්ෂකයා විය යුතු මවගෙන් සහ සමාජයේ මුදුන්මල්කඩ සේ සලකන ආගමික නායකයෙකුගෙන් අතිශය කෲර ලෙස පාවාදීමට ලක්වූ අවුරුදු දාහතරක් පමණක් වයසැති මල් කැකුළකි. තමා අතවරයට ලක්වූ දින ඇඳ සිටි, රුධිරය තැවරුණු යට ඇඳුම් බියට පත්ව පොළොවේ වළදමන්නට තරම් ඇය අසරණ වූවාය. සෑම දින තුනකට වරක්ම ඇයව ගෙන්වාගෙන ඇති බවත්, ඇයට දීර්ඝකාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවත් වෛද්‍ය පරීක්ෂණ මගින් මනාව තහවුරු වී ඇත. දැරියව අපයෝජනය කිරීමෙන් අනතුරුව හිමිනම විසින් මවගේ අතට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර, නැතිබැරිකම නිසා එම මුදල ගත් බව මව විසින්ම පොලිසියට ප්‍රකාශ කර තිබීමෙන් මේ පාපතර ගනුදෙනුවේ ස්වභාවය මොනවට පැහැදිලි වේ. දැරිය සිය පෙම්වතා සමඟ නිවසින් පලාගොස් පොලිස් අත්අඩංගුවට පත් නොවන්නට, මේ මහා අපරාධය තවමත් සමාජයෙන් වසන් වූ රහසක් වන්නට ඉඩ තිබිණි. ඇයට අහිමි වූයේ ඇගේ ළමා කාලය පමණක් නොව, මුළුමහත් ජීවිතයේම අහිංසක බලාපොරොත්තුයි.
මෙම නඩුව හුදෙක් එක් අපරාධයක් පමණක් නොව, මෙරට නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ නිරුවත සමාජයට විවරණය කළ කැඩපතක් බඳුය. නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ප්‍රකාශ කළේ සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයාට යවා ඇති බවයි. සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ නීතිඥවරු විස්සකට අධික කණ්ඩායමද පොලිසියේ එම ප්‍රකාශයම පදනම් කරගනිමින්, තම සේවාදායකයා සියලු විමර්ශනවලට සහාය දී ඇති බැවින් ඇප ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව අවධාරණය කළහ. එහෙත්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ සහ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් අධිකරණය හමුවේ ගෙනහැර දැක්වූ කරුණු මගින් පොලිසියේ විමර්ශන කෙතරම් දියාරු සහ පක්ෂපාතී දැයි මනාව ඔප්පු විය.
දැරිය විසින් පොලිසිය කැටුව ගොස් අපරාධය සිදුවූ ආවාස ගෙයි අදාළ කාමරය, එහි තිබූ භාණ්ඩ සහ සැකකාර හිමිනම අපයෝජනයෙන් පසු ශුක්‍රාණු පිසදැමූ පාපිස්ස පවා කිසිදු පැකිලීමකින් තොරව නිශ්චිතව පෙන්වා දී තිබිණි. එපමණක් නොව, දැරිය සහ සැකකාර හිමිනම අතර දුරකථන සංවාද අසූ හතරක් සිදුව ඇති බව දත්ත විශ්ලේෂණ වාර්තා මගින් දැනටමත් තහවුරු වී ඇත. ආගමික හා ධන බලයෙන් සපිරි මෙවැනි හිමිනමකට සාමාන්‍ය දැරියකට මෙතරම් ඇමතුම් ලබාගත හැකිදැයි ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය. මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදීත්, නිට්ටඹුව පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට නොගෙන, ඩී.එන්.ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගැනීම පවා මඟහරිමින්, දින දහහතක් තිස්සේ උන්වහන්සේට නිදැල්ලේ සිටීමට ඉඩප්‍රස්ථා සලසා දී තිබුණි.
ළමාරක්ෂක අධිකාරිය පෙන්වා දුන්නේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කෙවිටක් අරගෙන පොලිසිය පසුපස පන්නන්නට ඔවුනට සිදුවූ බවයි. අවසානයේ අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළ වහාම, මීට පෙර කිසිදු අසනීපයක් නොතිබූ සැකකාර හිමිනම නවලෝක රෝහලට ඇතුළත් වී රෝගියෙකු සේ පෙනී සිටීමට දැරූ උත්සාහයද, පසුව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සය දෙනෙකුගේ පරීක්ෂාවෙන් හෙළිදරව් විය. වයසට යෑම නිසා ඇතිවන සාමාන්‍ය නිදන්ගත රෝග හැරුණු විට උන්වහන්සේට කිසිදු විශේෂිත බරපතළ රෝගාබාධයක් නොමැති බව එහිදී තහවුරු විණි. අද දින අධිකරණ ශාලාව තුළ පවා උන්වහන්සේ කිසිදු අපහසුවකින් තොරව අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබිණි.
දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රබල කරුණු කිහිපයක්ම මතු කළේය. පොලිසිය විසින් රසපරීක්ෂකවරයා වෙත යොමු කර ඇති ප්‍රශ්නාවලිය පවා සැකකරුට ගැලවී යාමට හැකිවන පරිදි සකසා ඇති බවත්, මේ දක්වා වින්දිත දැරියගේ වීඩියෝ සාක්ෂියක් හෝ නිසි පරිදි ලබාගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙවන් පසුබිමක නිට්ටඹුව පොලිසියේ විමර්ශන කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම සම්පූර්ණ විමර්ශනය ජාතික ළමාරක්ෂක අධිකාරියට පවරන ලෙස ඔහු අධිකරණයෙන් දැඩිව ඉල්ලා සිටියේය.
මෙහිදී මතුවන බරපතළම ගැටලුව වන්නේ මුදල්, ආගමික සහ සමාජ බලය හමුවේ නීතිය නැවෙන්නේද යන්නයි. අද දින අධිකරණ භූමිය තුළ සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි දැවැන්ත නීතිඥ බලඇණියට අමතරව, රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඇතුළු ප්‍රබල මහා සංඝරත්නය තිහකට ආසන්න පිරිසක් වැඩම කර සිටීම මගින් නිහඬව ප්‍රදර්ශනය කළේ කුමන ආකාරයේ සමාජීය බලපෑමක්ද? විමර්ශන අවසන් යැයි කියමින් නීතිපතිවරයාට යැවූ බව කියන ගොනුව සම්පූර්ණයෙන්ම අසම්පූර්ණ එකක් බවට චෝදනා නැගෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙකුවත් අද දිනයේ අධිකරණයට පැමිණ සිටියේ නැත. තමන්ගේ දියණියව මුදලට විකුණූ මවකට එරෙහිව 'තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ' බරපතළ චෝදනාව ගොනු කිරීමට පොලිසිය හිතාමතාම අපොහොසත් වී ඇත්තේ කාගේ වුවමනාවටද යන්න තවමත් අභිරහසකි.
අපරාධයක් සම්බන්ධයෙන් මේ තරම් ප්‍රබල සාක්ෂි තිබියදී පොලිසිය නීතිය අපගමනය කරමින් කටයුතු කිරීමත්, ප්‍රධාන ප්‍රවාහයේ ඇතැම් මාධ්‍ය පවා මේ මහා අපරාධය ඉදිරියේ මුනිවත රැකීමත් පෙන්නුම් කරන්නේ බලය ඉදිරියේ සත්‍යය යටපත් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියකි. ළමා අපයෝජන නඩුවකදී වින්දිතයා වෙනුවෙන් පෙනී සිටිය යුතු රාජ්‍ය යාන්ත්‍රණය නිහඬ වෙද්දී, ආගමික හා ධන බලය හමුවේ නීතියේ දෙව්මිණියගේ දෑස් බැඳ දැමීමට දරන මේ සාහසික උත්සාහයට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය පමණක් හුදකලා සටනක් කිරීමම ජාතියේ අභාග්‍යයක් නොවේද?
නඩු කටයුතු අවසන් වී මහා සඟ පිරිවරක් සහ ප්‍රබල නීතිඥ බලඇණියක් පිරිවරාගෙන සැකකාර හිමියන් නිදහසේ පිටව යද්දී, සියල්ල අහිමි වූ ඒ අහිංසක මල් කැකුළ සතර බිත්තියකට කොටුවී මුළුමහත් සමාජයෙන්ම අසන්නේ, මේ රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මක වන්නේ බලවතාගේ හැඩයට සහ තරමට පමණක්ද කියාය.
