hashini-rangika-who-completed-her-medical-degree-keeping-records

දිනෙන් දින බුද්ධිගලනයක් ගැන මැසිවිලි නැගෙන යුගයක, දකුණු ලකෙන් බිහිවූ අසමසම දිරිය දියණියක් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ හිණිපෙත්තටම නැඟෙමින් මුළු මහත් ජාතියකටම අලුත් බලාපොරොත්තුවක් ගෙනවිත් තිබේ.




කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් බිහිවන වෛද්‍යවරුන් අතරින් අග්‍රගණ්‍යම ශිෂ්‍යාවට හිමි සම්මානය (Valedictorian) දිනාගනිමින්, වෛද්‍ය හෂිනි රංගිකා ඈපා ආරච්චි මෑත ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වෛද්‍ය උපාධිධාරිනියක් ලෙස ඉතිහාසගත වන්නීය. ඇය සිය වෛද්‍ය උපාධියේ ප්‍රධාන විෂය ධාරාවන් පහම ප්‍රථම පෙළ සාමාර්ථ සහිතව සමත් වෙමින්, රන් පදක්කම් දහසයක් සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන විශිෂ්ටතා සම්මානය සියතට ගත්තාය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇයගේ මේ අතිවිශිෂ්ට ජයග්‍රහණය හුදෙක් එක් පුද්ගලයෙකුගේ සාර්ථකත්වයක් පමණක්ම නොවේ. එය දකුණු පළාතේ සාමාන්‍ය පවුලකින් පැමිණ, සිය අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම තුළින් කොළඹ ප්‍රභූ අධ්‍යාපන රාමුව ජයගත් දැරියකගේ සාඩම්බර කතාවකි. අද වන විට ඇයගේ රුව රැගත් ඡායාරූප සමාජ මාධ්‍ය පුරා සහ පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම් අතර ආඩම්බරයෙන් හුවමාරු වන්නේ දහසක් වූ පාසල් දරුවන්ට, විශේෂයෙන්ම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීමට සිහින දකින කුඩා දැරියන්ට ඇය සජීවී ආදර්ශයක් වී ඇති බැවිනි.




හෂිනිගේ විශිෂ්ටත්වය පෙළපොතට හෝ විභාගවලට පමණක් සීමා වී නොමැත. නවක වෛද්‍යවරියක ලෙස ඇය මේ වන විටත් පිළිකා ප්‍රතිකාර පිළිබඳ නව මානයන් සොයා යමින් පර්යේෂණ ලෝකයට පිවිස සිටින්නීය. සම්ප්‍රදායික රසායනික ප්‍රතිකාර මගින් පිළිකා සෛල විනාශ කරනවා වෙනුවට, එම සෛල නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ විද්‍යාව හෙවත් "Cancer Reversion Therapy" පිළිබඳව ඇය විසින් රචනා කළ පර්යේෂණාත්මක ලිපිය මගින් ඇයගේ පුළුල් දැක්ම මනාව පිළිබිඹු වෙයි. රෝගියාට ඇතිවන අතුරු ආබාධ අවම කරන මෙම නවීන ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳ ඇය දක්වන උනන්දුව, මෙරට අනාගත පිළිකා ප්‍රතිකාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තබන ලද ප්‍රබල පියවරකි.

කෙසේ වෙතත්, මේ සුවිශේෂී ජයග්‍රහණය හමුවේ අප ඉදිරියේ මතුවන ප්‍රබල ගැටලුවක් ද තිබේ. මෙතරම් දීප්තිමත් බුද්ධියක් සහ පිළිකා පර්යේෂණ වැනි ලෝකයම අවධානය යොමු කරන සංකීර්ණ ක්ෂේත්‍රයකට අතපොවන යොවුන් වෛද්‍යවරියකගේ අනාගතයට සරිලන පසුබිමක් නිර්මාණය කරදීමට අපේ රටේ පවතින වෛද්‍ය ක්‍රමය සූදානම්ද? ඇයගේ නවෝත්පාදන හැකියාවන්ට නිසි වටිනාකමක් සහ පර්යේෂණ පහසුකම් ලබා නොදුනහොත්, මෑත කාලයේ අප දුටු බොහෝ දක්ෂයන් මෙන්ම ඇයටද තම හැකියාවන්ට ඉඩකඩ ඇති වෙනත් රටක් වෙත පියනඟන්නට සිදුවනු ඇත්ද යන්න කාගේත් සිත්වල මතුවන බරපතළ පැනයකි.



වෛද්‍ය හෂිනිගේ ගෙල සරසන ඒ රන් පදක්කම් දහසය, හුදු ලෝහ කැබලි නොව; නිසි කලට නිසි ලෙස රැකගතහොත් රෝගී වූ ජාතියක් සුවපත් කළ හැකි අමිල බලාපොරොත්තුවක දිදුලන සලකුණු ය.

hashini-rangika-who-completed-her-medical-degree-keeping-records

hashini-rangika-who-completed-her-medical-degree-keeping-records