give-media-statements-with-permission---the-personal-opinions-of-certain-monks-are-an-insult-to-the-entire-sangha

පිරිවෙන් අධ්‍යක්ෂ ධුරයට නවතමයෙන් පත් වූ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ, ජාතික, ආගමික සහ ශාසනික ගැටලුවලදී සමස්ත මහා සංඝරත්නය නියෝජනය වන පරිදි ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් සිය පෞද්ගලික මතවාද මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම හේතුවෙන් මුළුමහත් භික්ෂු සමාජයටම දැඩි අපහාසයක් හා නින්දාවක් අත්විඳීමට සිදුව ඇති බවයි. එබැවින් එවැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ව අවසරයක් ලබාගැනීම වඩාත් යෝග්‍ය වන බවද උන්වහන්සේ අවධාරණය කළහ.

පිරිවෙන් අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු පසුගිය 5 වැනිදා පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියහ.




මෙරට භික්ෂූන් වහන්සේලා හතළිස් දහසක් පමණ වැඩවසන බවත්, උන්වහන්සේලාට පක්ෂ දේශපාලනය කිසිසේත්ම නොගැළපෙන අතර නිරත විය යුත්තේ ජාතික දේශපාලනයේ පමණක් බවත් වජිරබුද්ධි හිමියෝ පැවසූහ. එමෙන්ම, දිවයින පුරා පිහිටි විහාරස්ථාන එකොළොස් දහසක් පමණ වන ප්‍රමාණය කේන්ද්‍ර කරගනිමින් ගම්මාන එකොළොස් දහසකට නිසි නායකත්වයක් ලබා දෙන්නේ නම්, ගුණධර්මවලින් පිරිපුන් සදාචාර සම්පන්න මෙන්ම ජාතියට ආදරය කරන අනාගත පරපුරක් නිර්මාණය කරමින් සමස්ත රටම නිවැරදි දිශාවකට යොමු කළ හැකි බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

සියලු වැරදි රජය වෙත පැටවීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කළද, රජය විසින් භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් විශාල ධනයක් වැය කරන බවත් භික්ෂු නායකත්වය පිළිගන්නා බවත් පිරිවෙන් අධ්‍යක්ෂවරයා සිහිපත් කළේය. වර්තමානයේ පවතින බොහෝ ගැටලුවලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ භික්ෂූන් වහන්සේලා අතර පවතින බෙදීම බවත්, ජනතාවගේ දායකත්වයෙන් යැපෙන සංඝ සමාජය බුද්ධ ශ්‍රාවකයන් ලෙස සමගියෙන් කටයුතු නොකළහොත් එය තමන්ගේම විනාශයට හේතු වන බවත් උන්වහන්සේ කියා සිටියහ. තවද, නීතිය සැමට සමාන බැවින් භික්ෂුවද නීතියට අනුගත විය යුතු බව බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර ඇති බව සඳහන් කළ උන්වහන්සේ, සෑම කරුණක්ම දේශපාලනික අරමුණු සඳහා යොදාගැනීමෙන් වැළකී රජයට පමණක් චෝදනා නොකර තමන්ගේ අඩුපාඩු සකසා ගැනීමට ක්‍රියා කළ යුතු බවද අවධාරණය කළහ.




තරුණ සාමණේර හිමිවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ශාසනභාරධාරී මහා තෙරුන් වහන්සේලා දැඩි අවධානයක් යොමු කරමින් නිසි මඟපෙන්වීමක් ලබා දිය යුතු බවද වජිරබුද්ධි නාහිමියෝ මෙහිදී පැවසූහ. එසේ නොකර සංඝ සමාජය ආරක්ෂා කරගැනීමට අපොහොසත් වුවහොත්, අනාගතයේදී ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් දැඩි අශීලාචාර සමාජයක් නිර්මාණය වනු ඇති බවට අනතුරු ඇඟවූ උන්වහන්සේ, එම තත්ත්වය වළක්වා තරුණ පරපුරට යහපත් රටක් ගොඩනැඟීම උදෙසා භාරකාරත්වය සහ නායකත්වය ගත යුතු බවද වැඩිදුරටත් පෙන්වා දුන්හ.