
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් සයිබර් අවකාශය හරහා අතුරුදන් වූ උණුසුම මැකී යන්නටත් පෙර, අගනුවර හරි මැදින් මතුවූ දැවැන්ත අන්තර්ජාල මුදල් කොල්ලයක අඳුරු තිරය මේ වනවිට විවෘත වෙමින් පවතී.
රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි සත්මහල් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් තුළ දැඩි රැකවල් මධ්‍යයේ පවත්වාගෙන ගිය, රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් පරිගණක සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් විදේශිකයන් 120 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඊයේ (06) නියෝග කළේය.
චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය යන රටවල් නියෝජනය කරන මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 89ක් සහ කාන්තාවන් 31ක් වෙති. භාෂා පරිවර්තකයෙකු හරහා සූම් තාක්ෂණයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මොවුන්ගේ නම් හෙළි කරගැනීමේ අපහසුව මත අධිකරණයේදී ඒ සෑම අයෙකුවම හඳුනාගනු ලැබුවේ හුදෙක් අංක වලිනි. වීසා බලපත්‍ර පවා නොමැතිව මෙරටට රිංගාගත් 28 දෙනෙකුද ඇතුළු මෙම ජාලය, සාමාන්‍ය සමාජයෙන් සම්පූර්ණයෙන්ම වියුක්තව කටයුතු කර ඇත. ගේට්ටුවේ ඇති නාමලේඛනයෙන් පිටත කිසිවෙකුටත් ඇතුළුවීමට අවසර නොතිබූ මෙම ගොඩනැගිල්ල තුළ, සේවකයන්ට පවා තම නියමිත මහලෙන් පිටතට යෑම තහනම් කර තිබිණි. ඔවුන්ගේ ප්‍රවාහනය සඳහා සුඛෝපභෝගී වාහන 15ක් සහ ආහාර සැපයීම සඳහා වෙනම ආයතන යොදවා තිබීමෙන් මෙහි පැවති අතිශය රහසිගත සහ සංවිධානාත්මක ස්වභාවය මනාව පැහැදිලි වේ.
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම ජාත්‍යන්තර කල්ලිය සහ මෑතකදී මහා භාණ්ඩාගාරයට එල්ල වූ සයිබර් ප්‍රහාරය අතර කිසියම් සබැඳියාවක් පවතීද යන්න පිළිබඳව බලවත් සැකයක් මතුව ඇති බවයි. පොලිස් බුද්ධි තොරතුරකට අනුව පසුගිය 2 වැනිදා පොලිසිය පස්වන මහලට කඩා වදින අවස්ථාවේදී සැකකරුවන් කලහකාරී ලෙස හැසිරී ඇති අතර, ඉන් කිහිපදෙනෙකු පලාගොස් ඇත්තේ මෙම මෙහෙයුම තවත් අභිරහසක් බවට පත් කරමිනි. මේ වනවිටත් ඩෙස්ක්ටොප් පරිගණක 151ක්, ලැප්ටොප් 51ක් සහ ස්මාර්ට් දුරකථන 266ක් පොලිස් භාරයට ගෙන ඇති මුත්, තවමත් පරීක්ෂා කර ඇත්තේ පළමු මහලේ උපකරණ පමණක් වීම මෙම ජාලයේ සැබෑ තරම කියාපායි. මේ හරහා දැනටමත් විදෙස් රටවල් පහකට අධික ප්‍රමාණයක බැංකු ගිණුම් වෙත මුදල් සංසරණය වී ඇති බවට අනාවරණය වී තිබේ.
කිසිදු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් නොමැති බව පවසමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලා සිටියද, විමර්ශනයේ සංකීර්ණභාවය සහ මහජන ආරක්ෂාවට ඇති තර්ජනය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළේය. මිනිස් ජාවාරමක්, සයිබර් අපරාධයක් සහ නීතිවිරෝධී රැකියා නියුක්තියක් යන සියල්ල කැටිවූ මෙම අපරාධයට තෝතැන්නක් සැපයූ ගොඩනැගිලි හිමිකරුවන් සෙවීමට කෝට්ටේ නාගරික කොමසාරිස්වරයාටත්, ආයෝජකයන් සහ ආධාරකරුවන් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, අන්තර්ජාල පහසුකම් ලබාදුන් ජාලයන් සෙවීමට විදුලි සංදේශ නියාමන කොමිසමටත් මේ වනවිට නියෝග නිකුත් කර අවසන්ය. චීන අකුරින් මුද්‍රිත රහසිගත පාර්සලයක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අනාවරණය කළේ මෙම මහා පරිමාණ ජාවාරමේ සැබෑ මහ මොළකරුවන් තවමත් අදෘශ්‍යමානව සිටින බවයි.
නීතියේ ඇස් වසා, සුඛෝපභෝගී තිර කඩතුරාවන් පිටුපස සිට ක්‍රියාත්මක වූ මෙම සයිබර් මාෆියාව, ඩිජිටල් යුගයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන බිහිසුණුම ජාත්‍යන්තර ආක්‍රමණයේ එක් සේයාවක් පමණක් විය හැකිය.
