former-minister-chandrani-pressured-political-friends-to-give-appointments---ex-secretary-says-in-court

යහපාලන රජය සමයේදී කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විසින් තම දේශපාලන හිතවතුන් පිරිසකට රැකියා ලබා දීම සඳහා රාජ්‍ය බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරන ලෙස තමන්ට දැඩි ලෙස බලපෑම් කළ බව එම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය අධිකරණය හමුවේ අනාවරණය කළාය. හිටපු ලේකම් දර්ශනා සේනානායක මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය 05 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ සාක්ෂි ලබා දෙමිනි.




වියළි කලාප සංවර්ධන වැඩසටහනට අදාළව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව බඳවා ගැනීම් දොළහක් සිදු කිරීමට නියමිතව තිබූ බව ඇය එහිදී පෙන්වා දුන්නාය. ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් දැන්වීම් ප්‍රසිද්ධ කර නිසි සම්මුඛ පරීක්ෂණ පවත්වා එම බඳවා ගැනීම් සිදු කිරීම නීත්‍යානුකූල ක්‍රමවේදය වුවද, අමාත්‍යවරිය ඊට පටහැනිව ක්‍රියා කරන ලෙස තමන්ට බල කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. එසේම දුරකතනයෙන් කිහිපවරක්ම සම්බන්ධ වෙමින් අමාත්‍යවරිය නියෝග කර ඇත්තේ අදාළ පත්වීම් සියල්ල කිසිදු ප්‍රමාදයකින් තොරව තමන් විසින් ලබා දෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාමලේඛනයකට පමණක් සීමා කර ලබා දෙන ලෙසයි.

අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද අදාළ නාමලේඛනය තුළ පුද්ගලයන්ගේ නම් සහ ලිපින හැරුණු විට කිසිදු අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකමක් සටහන් වී නොතිබුණු බව හිටපු ලේකම්වරිය අධිකරණයට දන්වා සිටියාය. ඊටත් වඩා ගැටලුකාරී තත්ත්වය වී ඇත්තේ වයස අවුරුදු හැත්තෑව ඉක්මවූ පුද්ගලයන් දෙදෙනෙකුද එම ලැයිස්තුවට ඇතුළත්ව සිටීමයි. වයස අවුරුදු හැටපහ ඉක්මවූවන් කොන්ත්‍රාත් පදනම මත හෝ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින්, අමාත්‍යවරියගේ නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් මතුවිය හැකි නෛතික ගැටලු සලකා "මෙය කළ නොහැකියි" යනුවෙන් සටහනක් යොදා ඒ බව අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් රංජිත් රූපසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දීමට තමන් පියවර ගත් බව ද ඇය සාක්ෂි දෙමින් පැවසුවාය.




එවැනි දැනුම් දීමක් කර තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52.3 වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා බැඳී සිටින බව පවසමින් චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය තමන්ට යළිත් ලිපියක් මඟින් බලපෑම් කළ බව සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය. මෙම අඛණ්ඩ බලපෑම් හමුවේ රාජ්‍ය මුදල් අවභාවිතයෙන් තොරව ආරක්ෂා කිරීමේ වගකීම දැරූ තමන් දැඩි පීඩනයකට පත්ව රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, ඒ පිළිබඳව එවකට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා දැනුවත් කළ අවස්ථාවේදී ඔහු "ඇමැති කියන හැටියට වැඩ කරන්න" යනුවෙන් තමන්ට පැවසූ බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් අනාවරණය කළාය.

දෙදහස් දහනවය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය ඉලක්ක කරගනිමින්, වියළි කලාපයේ අනෙකුත් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම නොසලකා හැර තම මැතිවරණ කොට්ඨාසය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රාජ්‍ය මුදල් යෙදවීමේ දැඩි අවශ්‍යතාවක් හිටපු අමාත්‍යවරියට තිබූ බව මෙම නඩු විභාගයේදී කියවිණි. 2019 ජනවාරි 14 සහ 31 අතර කාලය තුළ කළමනාකරණ සේවා චක්‍රලේඛ උල්ලංඝනය කරමින් එච්.එම්. චන්ද්‍රවංශ ඇතුළු දහතුන් දෙනෙකුට පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත. පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය සහ විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටි අතර, පැමිණිල්ලේ 03 සහ 04 වැනි සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.