difficulties-in-fulfilling-the-election-promise-of-free-bus-rides-for-the-new-government-of-kerala

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බලයට පත් නව රජය විසින් රාජ්‍ය අංශයට අයත් ප්‍රවාහන සේවයේ බස් රථවල කාන්තාවන්ට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දීමට ගත් තීරණය මේ වන විට විවිධ පාර්ශ්වයන්ගේ දැඩි කනස්සල්ලට හා සංවාදයට ලක්ව තිබේ. දැනටමත් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින කේරළ ප්‍රාන්ත ගමනාගමන සංස්ථාවට (KSRTC) මෙමඟින් එල්ල විය හැකි බලපෑම මෙන්ම, ප්‍රාන්තයේ ප්‍රබලව ක්‍රියාත්මක වන පෞද්ගලික බස් කර්මාන්තය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් පවතින බවට පෞද්ගලික බස් රථ හිමියන් බිය පළ කරති.




පසුගිය සඳුදා දිවුරුම් දුන් කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ නව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (UDF) රජය සිය ප්‍රථම ප්‍රතිපත්තිමය පියවරක් ලෙස එළඹෙන ජුනි මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නොමිලේ බස් ගමන් පහසුකම ප්‍රකාශයට පත් කළේය. මහ ඇමති වී.ඩී. සතීසන්ගේ නායකත්වයෙන් යුත් මෙම රජය පෙන්වා දෙන්නේ මෙය මැතිවරණ ප්‍රකාශනය මඟින් ජනතාවට පොරොන්දු වූ ‘ඉන්දිරා පොරොන්දු’ පහෙන් එකක් සපුරාලීමක් බවයි.

කාන්තා නිදහස් ප්‍රවාහන පහසුකමට අමතරව තවත් ප්‍රධාන සහන හතරක් මෙම පොරොන්දු මාලාවට ඇතුළත් කර ඇත. උසස් අධ්‍යාපනය ලබන විද්‍යාලීය දැරියන් වෙනුවෙන් රුපියල් 1,000ක  මාසික දීමනාවක් පිරිනැමීම, සමාජ සුබසාධන විශ්‍රාම වැටුප රුපියල් 2,000 සිට 3,000  දක්වා ඉහළ නැංවීම, තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා රුපියල් 500,000ක  උපරිමයකට යටත්ව පොලී රහිත ණය පහසුකම් සැපයීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන්ම වෙන් වූ ස්වාධීන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම එම සෙසු සහන පියවරයන් වේ.




කෙසේ වෙතත්, මෙම තීරණය හේතුවෙන් පැටවෙන අතිරේක මූල්‍ය බර දරා ගැනීමට සිදුවන්නේ ප්‍රාන්ත රජයේ අරමුදල් මත දැඩි ලෙස යැපෙන, දැනටමත් ණය බරින් මිරිකී සිටින KSRTC ආයතනයටයි. ප්‍රාන්තය තුළ පෞද්ගලික බස් රථ 7,000ක් සේවයේ යෙදෙන පසුබිමක රාජ්‍ය අංශය සතුව පවතින්නේ බස් රථ 4,000ක් වැනි සීමිත සංඛ්‍යාවක් වන අතර ඉන් බස් රථ 1,250කට වඩා වැඩි ප්‍රමාණයක් වසර 15කට වඩා පැරණි මට්ටමක පවතී. මීට අමතරව, ස්ථිර සේවකයන් 22,000කට වැටුප් ගෙවීමට සහ ඊට වඩා දෙගුණයකට ආසන්න විශ්‍රාමිකයන් පිරිසකගේ විශ්‍රාම වැටුප් පියවීමට සිදුවීම නිසා මෙම ආයතනය දැවැන්ත මෙහෙයුම් පිරිවැයකට මුහුණ දී සිටී.

පසුගිය වසර දහයක කාලය පුරා කේරළයේ බලයේ සිටි වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (LDF) රජය මෙම පාඩු ලබන රාජ්‍ය ප්‍රවාහන ආයතනය නඟාසිටුවීම වෙනුවෙන් රුපියල් බිලියන 140ක  දැවැන්ත මුදලක් ආයෝජනය කළ ද එම උත්සාහයන් සාර්ථක ප්‍රතිඵල අත්කර දී නොමැත. රජයේ නිල දත්තවලට අනුව දෛනිකව මිලියන දෙකක පමණ ජනතාවක් KSRTC බස් රථවලින් ගමන් ගන්නා අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වන බැවින්, මෙම නොමිලේ ගමන් පහසුකම හරහා ආයතනය දිනකට උපයන රුපියල් මිලියන 75.3ක සමස්ත ආදායමෙන් අඩක්ම ඉදිරියේදී අහිමි වී යාමේ අවදානමක් මතුව ඇත.