
දකුණු පළාතේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වූ වෛරස් මෙනින්ජයිටිස් (viral meningitis) රෝග තත්ත්වය හේතුවෙන් මේ මස අගභාගයේදී මාතර පැවැත්වීමට නියමිත වෙසක් උත්සවය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයකින් පසුවෙයි. මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට ඉතා පහසුවෙන් බෝවිය හැකි බැවින්, ඉදිරියේදී පැවැත්වෙන මාතර වෙසක් කලාපය තුළදී රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු පුළුල් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිටත් දීර්ඝ ලෙස සාකච්ඡා ආරම්භ කර තිබේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ඩී.එස්. පණ්ඩිතරත්න මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව, පාසල් නැවත ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍රයන්හි දැඩි සනීපාරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය දින කිහිපය පුරා පාසල් සම්පූර්ණයෙන්ම පිරිසිදු කර ඇති අතර, සිසුන් අතර යම් දුරස්ථභාවයක් පවත්වා ගැනීමට සහ පාසල් තුළ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද බලධාරීන් කටයුතු කරමින් සිටී. එමෙන්ම, උණ සහ වමනය වැනි රෝග ලක්ෂණ සහිත ගුරුවරුන්ද වාර්තා වී ඇති බැවින් මෙම තත්ත්වය වැඩිහිටියන් අතරද පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම දෙනියාය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය අවධාරණය කරයි. කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙරපාසල් පිරිසිදු කිරීම, දෛනික සනීපාරක්ෂක ක්‍රමවේද දැඩිව අනුගමනය කිරීම, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සහ දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද එහිදී යෝජනා වී ඇත. ඊට අමතරව, අපිරිසිදු ආහාර පුරුදු සහ ජල මූලාශ්‍ර ආශ්‍රිත ගැටලු රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බැවින්, මේ වනවිටත් ජලයට ක්ලෝරීන් යෙදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.
මෙම සෞඛ්‍ය තර්ජනය මැඩපැවැත්වීම සඳහා පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව කටයුතු කිරීම ආරම්භ කර ඇත. ඒ යටතේ පාසල් සහ පෙරපාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම, ක්‍රමවත් කසළ කළමනාකරණය, ජල පහසුකම් නඩත්තු කිරීම සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ශ්‍රමදාන ව්‍යාපාර සංවිධානය කිරීමද අදාළ ආයතනවල මූලිකත්වයෙන් ඉතා ක්‍රමානුකූලව සිදු කෙරෙමින් පවතී.
