හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටි රැඳවියෙකු වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම ඇද වැටීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ අදාළ රැඳවියා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. එහෙත්, රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව තහවුරු කරනු ලැබීය. මෙම ඇද වැටීම කෙසේ සිදුවූයේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු කරුණක් අනාවරණය වී නොමැති අතර, අදාළ බලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබේ.
2022 වසරේදී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දොළොස් දෙනෙකු අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත් විය. ඒ අනුව, පසුගිය පෙබරවාරි මස 11 වන දින ඔවුන් සියලු දෙනාටම මරණ දඬුවම නියම කරනු ලැබූ අතර, මෙලෙස මියගොස් ඇත්තේ එම දඬුවම නියම වූ පිරිසට අයත් එක් පුද්ගලයෙකි.
