fake-police-website-to-pay-traffic-fines

රථවාහන නීති උල්ලංඝනය කළ බවට පවසමින් රියදුරන් වෙත ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) සහ වට්ස්ඇප් (Whatsapp) පණිවිඩ යොමු කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මහජනතාව දැනුවත් කර තිබේ. සීසීටීවී (CCTV) කැමරා දර්ශන මගින් අදාළ රථවාහන වැරදි නිරීක්ෂණය කළ බවට ව්‍යාජ ලෙස හඟවමින්, ශ්‍රී ලංකා පොලිසියෙන් යොමු කරන ලද පණිවිඩ බවට විශ්වාස කෙරෙන පරිදි විවිධ දුරකථන අංක හරහා මෙම පණිවිඩ රියදුරන් වෙත යොමු කර ඇත.




අදාළ ව්‍යාජ පණිවිඩ මගින් රියදුරන්ට දැනුම් දී ඇත්තේ අදාළ වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට https://thecourierguy.cu.cc/lk නමැති අන්තර්ජාල සබැඳිය වෙත පිවිසෙන ලෙසයි. මහජනතාවට ගෙවීම් කටයුතු සිදු කිරීමේ පහසුව සඳහා සකස් කර ඇති 'govpay' නිල වෙබ් අඩවියට සමාන අයුරින් මහජනතාව නොමග යැවීමේ අරමුණින් මෙම ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. අදාළ සබැඳිය ඔස්සේ පිවිසී දඩ මුදල් ගෙවීමට උත්සාහ කරන පුද්ගලයින්ගේ ණය කාඩ්පත් දත්ත සහ අනෙකුත් පෞද්ගලික තොරතුරු ඉතා සූක්ෂම අන්දමින් ලබා ගැනීමට මෙම වංචාකරුවන් විසින් කටයුතු කර ඇති බව පොලිසිය නිරීක්ෂණය කර ඇත.

මෙම වංචනික ක්‍රියාවන් මගින් ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිනාමයට මෙන්ම මහජන විශ්වාසයට ද දැඩි හානියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන පොලිසිය, මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා ලැබෙන සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් මහජනතාවට දැනුම් දෙයි. වර්තමාන ක්‍රමවේදය අනුව රථවාහන දඩ මුදලක් ගෙවිය යුත්තේ, යම් රථවාහන වරදක් සිදු කළ විට පොලිස් නිලධාරියෙකු විසින් ඒ බව දැනුම් දීමෙන් පසු රියදුරු විසින් අදාළ වරද පිළිගන්නේ නම් පමණක් බවත්, ඉන්පසු 'govpay' යෙදවුම හරහා ලබාදෙන දඩ පත්‍රිකාවක් ලබා ගැනීමෙන් පසු පමණක් අදාළ ගෙවීම් සිදුකිරීමට වගබලා ගත යුතු බවත් 2026 මැයි 27 වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

fake-police-website-to-pay-traffic-fines