the-information-is-spread-by-the-fumes-of-wild-powder

ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු පොලිස් භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන උජිත කුමාර හෙවත් ‘වනාතේ කුඩු දුමින්ද’ නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරන්නේ සැකකරු හෙළි කළ රහස් මත පාළු නිවසක වළ දමා තිබූ විදේශීය රටවල නිෂ්පාදිත ගිනි අවි දෙකක්, ජීව උණ්ඩ සහ ද්විත්ව මිනිස් ඝාතනයකට සම්බන්ධ යතුරුපැදියක් සොයා ගැනීමට හැකි වූ බවයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර සිටි මෙම ප්‍රධාන පෙළේ අපරාධකරුවාගෙන් ලබාගත් පාපොච්චාරණයන් මත මෙම වැටලීම සිදුකර ඇත.




පසුගිය 22 වනදා වනාතේ දුමින්ද ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයන් 21 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථාන හතරකට සහ විමර්ශන ඒකක 14 ක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගනිමින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරු විසින් සිය අපරාධ රැල්ලට අදාළ තොරතුරු රැසක් හෙළි කර තිබේ. බොරැල්ල සරණපාල හිමි මාවතේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ලබාදුන් තොරතුරුවලට අනුව, එම ප්‍රදේශයේම පිහිටි පාළු නිවසක මුළුතැන්ගෙයි බිම කැණීම් කර සඟවා තිබූ ආයුධ තොගය මතු කර ගැනීමට පොලිස් කණ්ඩායම් සමත් විය.

පොලිස් භාරයට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත, අංක 2009 දරන මිලිමීටර් 9 වර්ගයේ රිවෝල්වරයකට සමාන ගිනි අවියක්, අංක 2015 දරන රිවෝල්වර වර්ගයේ තවත් ගිනි අවියක් සහ ජීව උණ්ඩ හතරක් වන බව විමර්ශන නිලධාරීන් පවසයි. මීට අමතරව පොලිසිය විසින් සොයාගත් යතුරුපැදිය පසුගිය වසරේ අගෝස්තු මස 8 වනදා බොරැල්ල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි වාහනය බවට හඳුනාගෙන ඇත. මෙම ද්විත්ව ඝාතන සැලසුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ වනාතේ කුඩු දුමින්ද විසින් බවත්, අපරාධයෙන් පසු මෙම යතුරුපැදිය ඔහුගේ සමීපතම හිතවතෙකුගේ භාරයේ සඟවා තිබියදී සොයාගත් බවත් විමර්ශනවලදී තහවුරු වී තිබේ.