a-court-order-to-send-the-bio-student-to-medical

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන සහ අනුක ජීවවිද්‍යා පාඨමාලාව හැදෑරීම සඳහා තේරී පත්ව සිටි දක්ෂ සිසුවකුට, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන්නැයි අභියාචනාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ. අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ අදාළ ශිෂ්‍යයා විසින් තමන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බලා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.




මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන තිබුණේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන චතු දස මෙන්ඩිස් නමැති තරුණයෙකි. ඔහු අපොස උසස් පෙළ විභාගයෙන් "ඒ" සාමාර්ථ දෙකක් සහ "බී" සාමාර්ථයක් ලබා ගනිමින් ඉහළින්ම සමත්ව වෛද්‍ය උපාධිය සඳහා ඉල්ලුම් කර තිබුණද, ඔහු මුලින් තේරී පත්ව තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යා පාඨමාලාවටය. කෙසේ වෙතත්, රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ජාතික කථික තරගයේ හොඳම කථිකයාට හිමි සම්මානය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටි හෙයින්, විශේෂ දක්ෂතා දක්වන සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය යටතේ වෛද්‍ය උපාධිය හැදෑරීමට තමන් සුදුසුකම් ලබා ඇති බව ඔහු අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.

මෙම පෙත්සම විභාගයට ගත් අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතාගේ එකඟත්වය ඇතිව, විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී අධිකරණය අවධාරණය කළේ පෙත්සම්කාර සිසුවා සතු විශේෂ කුසලතා සහ කරුණු සැලකිල්ලට ගැනීමේදී ඔහුට අසාධාරණයක් සිදුව ඇති බව නිරීක්ෂණය වන බවයි. ඒ අනුව, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්ව තිබූ තීරණය බලරහිත කළ විනිසුරු මඩුල්ල, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කළේය.




මෙම නඩු විභාගයේදී පෙත්සම්කාර ශිෂ්‍යයා වෙනුවෙන් නීතිඥ අනුෂා පේරුසිංහ මහත්මියගේ උපදෙස් මත නීතිඥ දිල්මිණි ද සිල්වා මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටියේය. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය.