
ප්‍රකට ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතාගේ විදෙස්ගත මිතුරන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට සැලසුම් කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක දැවැන්ත මූල්‍ය ප්‍රදානයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි කොන්දේසි හේතුවෙන් මෙරටට අහිමි වී ගොස් තිබෙන බව ඔහු ප්‍රකාශ කර තිබේ. මෑතකදී ළහිරුගේ යූටියුබ් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අනාවරණය කළේ, එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සිය හිතවතුන් කිහිපදෙනෙකු කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව, හුදෙක්ම රටට කරන ආධාරයක් ලෙස මෙම මුදල පරිත්‍යාග කිරීමට සූදානමින් සිටි බවයි.
මෙම මූල්‍ය පරිත්‍යාගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පරිත්‍යාගශීලීන් සමඟ තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණු බවත්, එහිදී ජනාධිපතිවරයා විසින් ඔවුන්ව නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා වෙත යොමු කළ බවත් ඔහු එහිදී සඳහන් කළේය.
එම හමුවේදී මහාචාර්ය අනිල් ජයන්ත මහතා පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා සහ පවතින මූල්‍ය නීතිරීතිවලට අනුව වෙනත් රටවලින් ලැබෙන මෙවැනි මුදල් සෘජුවම ප්‍රදානයන් ලෙස භාරගැනීමට හෝ මෙරටට ගෙන ඒමට නීතිමය හැකියාවක් නොමැති බවයි.
මේ අතර, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකු විසින් අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට උත්සාහ කළද එතුමා එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ අයුරුද විජේසූරිය මහතා මෙහිදී සිහිපත් කළේය.
එවැනි මුදල් පක්ෂයක් ලෙස භාරගැනීම ප්‍රතික්ෂේප කළ වත්මන් ජනාධිපතිවරයා, මැතිවරණයෙන් පසුව රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී එම මුදල් ආයෝජනයක් ලෙස මෙරටට රැගෙන එන ලෙස කළ ඉල්ලීම හමුවේ තමන් දැඩි සංවේදී භාවයට පත් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ද සහභාගී වූ ප්‍රසිද්ධ වේදිකාවකදී තමන් විසින් මෙම කරුණු හෙළිදරව් කිරීමෙන් අනතුරුව, ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන්ව දැඩි ලෙස ඉලක්ක කරමින් පහර ගැසීම් සිදුකරන බවද සංගීත් විජේසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ මේ වනවිට උපහාසය නිර්මාණය කිරීමට සමත්වී ඇත. ගායකයෙකු දේශපාලනය කථාකරන්නට යාම ගැන විවේචන හා තර්කානුකූල නොවන උත්තරයක් නිසා සිනහවට ලක්වීමට මෙම ප්‍රකාශය හේතුවී ඇත.
