the-cricketers-who-filmed-the-doctor-bathing-are-trying-to-settle-the-case

කොළඹ 5 ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී වෛද්‍යවරියන් පිරිසකගේ ස්නානය කිරීමේ දර්ශන ජංගම දුරකථනයක් මඟින් රහසිගතව වීඩියෝ ගත කිරීමේ සිදුවීමට අදාළව චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනා, එම ගැටලුව සමථයකට පත් කර ගැනීමට සූදානමින් සිටින බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මේ බව දන්වා තිබේ.




නාරාහේන්පිට පොලිසිය මඟින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වී ඇත. මේ හේතුවෙන්, ලබන නඩු වාරය පැවැත්වීමට ප්‍රථම විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඊට අදාළ නිරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කර තිබේ.

වෛද්‍යවරියන් වීඩියෝ ගත කිරීමේ ප්‍රධාන චෝදනාව එල්ල වී ඇති පළමු සහ දෙවන සැකකාර ක්‍රීඩකයින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය යන ප්‍රසිද්ධ පාසල් ද්විත්වයේ අධ්‍යාපනය ලබන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා අධිකරණයට පවසා ඇත්තේ, මෙම අර්බුදය දෙපාර්ශවයේ එකඟතාවයෙන් සමථයකට පත් කර ගැනීමට විත්ති පාර්ශවය කැමැත්තෙන් පසුවන බවයි. කෙසේ වෙතත්, අගතියට පත් වෛද්‍යවරියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා එහිදී අවධාරණය කළේ, මෙවැනි සමථයකට එළඹීම සම්බන්ධයෙන් සිය සේවාදායකයින්ගෙන් මෙතෙක් කිසිදු උපදෙසක් හෝ එකඟතාවක් ලැබී නොමැති බවත්, එවැනි පියවරක් ගැනීමට පෙර පැමිණිලිකාර පාර්ශවයේ පැහැදිලි උපදෙස් ලබාගත යුතු බවත්ය.




සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද නේවාසික වැඩමුළුවකට සහභාගී වීම සඳහා නාරාහේන්පිට ජානකී හෝටලයේ නවාතැන් ගෙන සිටි වෛද්‍යවරියන් පිරිසක් ස්නානය කරන දර්ශන රහසිගතව ජංගම දුරකථන මගින් රූගත කිරීමේ චෝදනාවට ලක්වූයේ ක්‍රිකට් පුහුණු කඳවුරක් සඳහා අදාළ හෝටලයට පැමිණ සිටි මෙම සිසුන්ය. ඔවුන් විසින් හෝටලයේ නාන කාමරවල සිදුරු සකසා මෙම දර්ශන ඉතා සූක්ෂම ලෙස පටිගත කර ඇති බවට සාක්ෂි ලැබී ඇති බව වාර්තා විය. තරුණ වෛද්‍යවරියකට සිය නාන කාමරය තුළ යම් රූගත කිරීමක් සිදුවන බවට නිරීක්ෂණය වීමෙන් පසුව ඇය විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව, හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන (CCTV) පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර, මෙම ක්‍රියාවට ආධාර සහ අනුබල දීමේ චෝදනාවට ලක්ව සිටින තුන්වන සහ සිව්වන සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉයන් ප්‍රනාන්දු මහතා තම සේවාදායකයින්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන්නේය. සැකකාර ක්‍රීඩකයින් සිව්දෙනාම එක්ව එකම ජංගම දුරකථනයක් භාවිතා කරමින් මෙවැනි වීඩියෝ ගත කිරීමක් සිදු කළේ කෙසේද යන්න පිළිබඳව බැලූ බැල්මටම වටහා ගත නොහැකි ගැටලුවක් පවතින බව ඔහු අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.

දැනට ඇප මත මුදා හැර සිටින මෙම සැකකාර ක්‍රීඩකයින් සිව්දෙනාට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන ජූලි මස 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර ඇත.

gossiplanka image