මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් ෙදපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අකල් මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විවිධ පුද්ගලයින් විසින් පළ කරනු ලබන අදහස් හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව පවසමින් ඔහුගේ බිරිඳ විසින් කුලියාපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය මැයි 06 වන දා සිදුකළ මෙම පැමිණිල්ල මගින් ඇය අවධාරණය කර ඇත්තේ සිය සැමියාගේ මරණය පිළිබඳව තමාට කිසිදු සැකයක් නොමැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මරණය සැක සහිත බවට සිදුකරන ප්‍රකාශ හේතුවෙන් තමාත් සිය දරුවනුත් දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්ව, හිතට සැනසිල්ලක් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බව ද ඇය සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව, රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට ප්‍රකාශ කළ උදය ගම්මන්පිල මහතා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු එම මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස අධිකරණයට කැඳවීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. මීට සමගාමීව, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එළඹෙන මැයි 09 වන දින පෙරවරු 10.00 ට කුලියාපිටිය පොලිසියේ පෙනී සිටින ලෙස ගම්මන්පිල මහතා වෙත මේ වන විටත් දැනුම් දී තිබේ.
තමන්ට එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත්තේ, තමන් සතු සාක්ෂි ද රැගෙන එළඹෙන සෙනසුරාදා දින කුලියාපිටිය පොලිසිය වෙත යාමට බලාපොරොත්තු වන බවයි.
