castleveedee-hospital-denies-elle-theros-accusation-of-performing-gender-reassignment-surgeries-on-children

මෑතකදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් රූපවාහිනී වැඩසටහනකදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මුල් කරගනිමින්, කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයක ළමයින්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමේ සැත්කම් සිදු කරන බවට පැතිර යන ප්‍රචාරයන් කාසල් වීදියේ කාන්තා රෝහලේ බලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.




හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් චෝදනා කර සිටියේ, මහජන බදු මුදල් යොදාගනිමින් රජයේ රෝහල් තුළ නොමිලයේ ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් කිරීමේ රහසිගත ශල්‍යකර්ම ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවයි. තමන් හමුවීමට පැමිණි වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම තොරතුරු අනාවරණය කළ බවත්, මෙරටදී මූලික කටයුතු සිදු කර ඉන්දියාවට ගොස් ඉතිරි කටයුතු අවසන් කිරීමට සිදුවන බවත් උන්වහන්සේ එහිදී පැවසූහ. ඉන් අනතුරුව රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලක් වැය වන, දිගින් දිගටම හෝමෝන එන්නත් ලබාගැනීමේ ක්‍රියාවලියක් පවතින බව පෙන්වා දුන් උන්වහන්සේ, මෙය ජාත්‍යන්තර බලපෑම් මත සිදුවන දෙයක් විය හැකි බවට සැක පළ කරමින් දරුවන් මව්පියන්ට වැඳීම ප්‍රතික්ෂේප කිරීම වැනි සමාජීය විපර්යාසයන්ද මීට සමගාමීව නිර්මාණය වෙමින් පවතින බව ප්‍රකාශ කළහ.

මෙම රූපවාහිනී ප්‍රකාශයත් සමඟ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වූ අතර, එය සමාජය තුළ විශාල කැළඹීමක් මෙන්ම ලැව්ගින්නක් සේ පැතිර යන දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් විය.




මෙම අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් මහජනතාව නොමඟ යාම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වූ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. රෝහල් අධ්‍යක්ෂවරයා වශයෙන් පූර්ණ වගකීමෙන් යුතුව තමන් ප්‍රකාශ කර සිටින්නේ, දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමේ කිසිදු වෛද්‍ය ක්‍රියාවක් හෝ සැත්කමක් තම රෝහල තුළ කිසිසේත්ම සිදු නොවන බව යැයි එතුමා එමගින් දැඩිව අවධාරණය කර තිබේ.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම පුවත මුළුමනින්ම ගොතන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් බව පෙන්වා දෙන වෛද්‍ය දන්තනාරායන මහතා, මේ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා තම රෝහල තුළ පූර්ණ විවෘතභාවයක් පවතින බවද අදාළ ලිපිය මගින් බලධාරීන්ට දන්වා ඇත.

castleveedee-hospital-denies-elle-theros-accusation-of-performing-gender-reassignment-surgeries-on-children