case-against-chatgpt-for-aiding-and-abetting-crimes

2025 අප්‍රේල් මාසයේදී ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ (FSU) සිදු වූ වෙඩි තැබීමකට අදාළව, එම ප්‍රහාරකයාට සහාය වූ බවට චෝදනා කරමින් ChatGPT නිර්මාණය කළ OpenAI සමාගමට එරෙහිව වින්දිතයෙකුගේ පවුලේ සාමාජිකයන් විසින් නඩුවක් ගොනු කර තිබේ. ෆ්ලොරිඩා උතුරු දිස්ත්‍රික් උසාවියේදී මෙම නඩුව පවරා ඇත්තේ එදින වෙඩි තැබීමෙන් මියගිය තිරු චබ්බාගේ වැන්දඹු බිරිඳ වන වන්දනා ජෝෂි විසිනි.

2025 අප්‍රේල් 17 වන දින සිදු වූ මෙම අවාසනාවන්ත ප්‍රහාරයෙන් තිරු චබ්බා සහ විශ්වවිද්‍යාලයේ භෝජනාගාර අධ්‍යක්ෂ රොබට් මොරාලස් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පස් දෙනෙකු තුවාල ලැබූහ.




පිටු 76කින් යුත් මෙම පැමිණිල්ල මගින් නීතීඥයන් තර්ක කරන්නේ, ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා ලබන ෆීනික්ස් ඉක්නර් නැමැති ශිෂ්‍යයා ප්‍රහාරයට පෙර මාස කිහිපයක් තිස්සේ ChatGPT සමඟ දීර්ඝ සංවාද පවත්වා ඇති බවයි. මෙම කෘතිම බුද්ධි පද්ධතිය සැකකරුගේ ප්‍රචණ්ඩකාරී මානසිකත්වය දිරිමත් කර ඇති බවත්, එමගින් ඔහු සැලසුම් කරන හානිය පිළිබඳව හඳුනා ගැනීමට පද්ධතිය අපොහොසත් වී ඇති බවත් නඩුවේ සඳහන් වේ. විශේෂයෙන්ම මෙම තාක්ෂණය අන්තරායකර තත්ත්වයන් වටහා ගැනීමට හෝ පවතින දත්ත විශ්ලේෂණය කර ඉදිරි තර්ජනයක් හඳුනා ගැනීමට සුදුසු පරිදි නිර්මාණය කර නොමැති බවට වින්දිතයන්ගේ පාර්ශවය චෝදනා කරයි.

ප්‍රහාරකයාට අවශ්‍ය ආයුධ සහ පතොරම් හඳුනා ගැනීමට මෙන්ම, එම ආයුධ භාවිත කරන ආකාරය පිළිබඳව ද ChatGPT උපදෙස් ලබා දී ඇති බව නඩු වාර්තාවල දැක්වේ. 'ග්ලොක්' (Glock) වර්ගයේ ගිනිඅවියක ආරක්‍ෂක අගුළු නොමැති බවත්, එය හදිසි අවස්ථාවකදී වේගයෙන් ක්‍රියාත්මක කළ හැකි බවත් එහිදී පවසා ඇති බව සඳහන් වේ. එපමණක් නොව, ප්‍රහාරය එල්ල කළ යුතු වේලාව සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ වැඩිම පිරිසක් ගැවසෙන ස්ථාන පිළිබඳව ද මෙම කෘතිම බුද්ධි මෙවලම තොරතුරු සපයා ඇති බවට පැමිණිල්ලේ දැක්වේ.




සැකකාර ඉක්නර් ප්‍රහාරය සඳහා වැඩිම මාධ්‍ය අවධානයක් දිනාගත හැකි ආකාරය පිළිබඳව විමසූ විට, පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ඝාතනය කිරීම සහ ළමුන් සම්බන්ධ සිදුවීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන බවට ChatGPT ප්‍රතිචාර දක්වා ඇති බව පැවසෙයි. මෙවැනි ප්‍රචණ්ඩකාරී අදහස් දිරිමත් කිරීම හරහා සැකකරු තුළ වූ මානසික ව්‍යාකූලතා තවදුරටත් තීව්‍ර වී ඇති බව වින්දිතයන්ගේ නීතීඥයන් පෙන්වා දෙයි. ප්‍රහාරය එල්ල වූ දිනයේ පවා සැකකරු මෙහි නීතිමය ක්‍රියාවලිය සහ සිරගත වීමේ හැකියාව පිළිබඳව ChatGPT වෙතින් තොරතුරු විමසා ඇති බව අනාවරණය වී තිබේ.

OpenAI සමාගමේ ප්‍රකාශකයෙකු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මෙය ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුවද, වෙඩි තැබීම සම්බන්ධයෙන් තම සමාගම වගකිව යුතු නොවන බවයි. ChatGPT යනු මිලියන සංඛ්‍යාත ජනතාවක් එදිනෙදා යහපත් කටයුතු සඳහා භාවිත කරන පොදු මෙවලමක් බවත්, හානිකර අරමුණු හඳුනා ගැනීමට සහ අවහිර කිරීමට තමන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් එම සමාගම පවසයි. එසේම අදාළ සිද්ධිය දැනගත් වහාම ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බව ද OpenAI සමාගම ප්‍රකාශ කර ඇත.



මේ අතර, මියගිය අනෙක් පුද්ගලයා වන රොබට් මොරාලස්ගේ පවුලේ සාමාජිකයන් ද OpenAI සමාගමට එරෙහිව වෙනම නඩුවක් පැවරීමට සූදානම් වන බව වාර්තා වේ. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නීතිපති ජේම්ස් උත්මයර් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ ChatGPT යනු පුද්ගලයෙකු වූවා නම් මෙම සමූහ ඝාතනය සම්බන්ධයෙන් ඔහුට අනිවාර්යයෙන්ම මිනීමැරුම් චෝදනා එල්ල වන බවයි.

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකාර ඉක්නර්ට එරෙහිව මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඔහු තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබේ. ඔහුට අදාළ නඩු විභාගය එළඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිතය. මෙම නඩුකරය කෘතිම බුද්ධි තාක්ෂණයේ වගකීම් සහ එහි සීමාවන් පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් ඇති කිරීමට සමත්ව තිබේ.