kapilas-iphone-16-is-not-unlocked-for-the-dead-body

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) දිනයේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම සිද්ධියට අදාළ විමර්ශනවල වත්මන් ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වන ඇමුණුම් දෙකක් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.




මරණකරුගේ සිරුරෙන් ලබාගත් රුධිර සාම්පල ද්විත්වයක් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවීම සඳහා ද මෙහිදී පොලීසිය විසින් අධිකරණයේ අවසරය අයැද සිටියේය. මීට අමතරව, විමර්ශන කටයුතුවලදී මියගිය අයගේ ජංගම දුරකථනය කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇති අතර, මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණයෙන් (Face Lock) අගුලු දමා ඇති බැවින් එය විවෘත කරගැනීම දැඩි අපහසුතාවක් වී ඇති බව විමර්ශකයින් විසින් මහෙස්ත්‍රාත්වරයාට පෙන්වා දෙන ලදී. iphone 16 මාදිලියේ ජංගම දුරකථනය මියගිය අයගේ මුහුණට හරවා විවෘත කරවාගන්නට දැරූ උත්සාහය ව්‍යර්ථවී ඇති බව විමර්ශකයින් පෙන්වා දුණි. එබැවින් අදාළ ජංගම දුරකථනය එහි නිෂ්පාදිත සමාගම වෙත හෝ වෙනත් සුදුසු තාක්ෂණික ආයතනයක් වෙත යොමු කර දත්ත පරීක්ෂා කිරීම සඳහා එය විවෘත කරගැනීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මරණය සිදුවූ ස්ථානයේ තිබී සොයාගනු ලැබූ ගෙල බැඳි පටියක් සහ තවත් හඳුනානොගත් ඖෂධ වර්ග කිහිපයක් පිළිබඳව ද නඩු විභාගයේදී විශේෂ අවධානයක් යොමු විය. අදාළ ස්ථානයෙන් සොයාගත් එම ඖෂධ මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත්දැයි මහෙස්ත්‍රාත්වරයා විසින් විමසා සිටි අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පොලීසිය ප්‍රකාශ කළේ එම ද්‍රව්‍ය මුලින්ම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලය වෙත ලබා දී ඇති බවයි. කෙසේ වෙතත්, ඉදිරි කටයුතු සඳහා එම ඖෂධ ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.




ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ ඉල්ලීම් සියල්ල සඳහාම මහෙස්ත්‍රාත්වරයා විසින් නිසි අවසරය ලබා දෙන ලදී. මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් කෙරෙන පුළුල් විමර්ශනවලට අදාළව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙම සිදුවීමට අදාළ වැඩිදුර සාක්ෂි විභාග කිරීම එළඹෙන 14 වැනිදා දක්වා කල් තැබීමට ද අධිකරණය විසින් නියෝග කරන ලදී.