ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා (15) හොංකොං හිදී පැවති 2026 ආසියානු සංස්කෘතික සහ මහජන සුබසාධන සංසදය (Asian Cultural Public Welfare Forum) අමතමින්, ආසියානු ජාතීන් තම සංස්කෘතික අනන්‍යතාවය අහිමි කර නොගනිමින් නවීකරණය කරා ගමන් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
ගෝලීය ආර්ථිකය තුළ ආසියාවේ වැඩෙන භූමිකාව පිළිබඳව කරුණු දැක්වූ මන්ත්‍රීවරයා, 2030 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනයෙන් සියයට 60ක් ආසියාවෙන් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, මෙම සීඝ්‍ර ආර්ථික අභිලාෂයන් හරහා අපගේ හර පද්ධතීන් පිරිහෙන්නේද, අනන්‍යතාවය දුර්වල වන්නේද, නැතහොත් සොබාදහමට හානි පැමිණෙන්නේද යන තීරණාත්මක ගැටලු ඔහු එහිදී මතු කළේය.
ශ්‍රී ලංකාවේ පෞරාණික ශිෂ්ටාචාරයේ උරුමයන් ගෙනහැර දක්වමින්, "වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි" යන සංකල්පය මත පදනම් වූ අතීත තිරසාර ආකෘතිය පිළිබඳව රාජපක්ෂ මහතා අදහස් දැක්වීය. තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ඓතිහාසික සමතුලිතතාවය නවීන ප්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීමට කටයුතු කළ ආකාරයත්, යටිතල පහසුකම් සංවර්ධනය කරන අතරතුර ග්‍රාමීය සවිබල ගැන්වීම් සහ සමාජ සුබසාධනය එකම ජාතික මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඔහු දැක්වූ දායකත්වයත් මන්ත්‍රීවරයාගේ ඇගයීමට ලක්විය.
"අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං" යන ධම්මපද ගාථා පාඨය උපුටා දක්වමින්, සිහියෙන් යුතුව ක්‍රියා කිරීම සාර්ථකත්වයේ මාවත බවත්, නොසැලකිලිමත්කම පිරිහීමට මඟ පාදන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. විවිධ ආගමිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී පාදස්ථානය වැනි ස්ථාන උදාහරණයට ගනිමින්, නවෝත්පාදනයන් වැළඳගන්නා අතරම ප්‍රතිස්ථාපනය කළ නොහැකි ආගමික මෙන්ම සංවේදී පරිසර පද්ධතීන් සහ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට නායකයින් බැඳී සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෘත්‍රිම බුද්ධිය (AI), දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර (telemedicine) සහ පුනර්ජනනීය බලශක්තිය වැනි තාක්ෂණික අංග හරහා "මහජන සුබසාධන නවෝත්පාදනය" ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා, සදාචාරයෙන් තොර තාක්ෂණය මගින් සමාජ අසමානතාවය සහ බෙදීම් නිර්මාණය වීමේ දැඩි අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය. දේශගුණික විපර්යාස, ඩිජිටල් අසමානතා සහ තරුණ පරපුරේ අපේක්ෂාවන් වැනි අභියෝග ජයගැනීමට නම් තාක්ෂණය සහ මානුෂීයත්වය අතර මනා සමතුලිතතාවයක් පවත්වා ගත යුතු බව ඔහුගේ අදහස විය.
දේශසීමා ඉක්මවා යන දේශගුණික විපර්යාස හා ආර්ථික අස්ථාවරත්වය වැනි අභියෝග හමුවේ ආසියානු කලාපයේ ශිෂ්ටාචාරාත්මක සහයෝගීතාවයේ අවශ්‍යතාවය පෙන්වා දුන් රාජපක්ෂ මහතා, ආසියාව හුදෙක් ආර්ථික වශයෙන් පමණක් නොව සදාචාරාත්මක සහ සංස්කෘතික වශයෙන් ද ලෝකයට නායකත්වය දිය යුතු බව ප්‍රකාශ කළේය. ශිෂ්ටාචාරයක සැබෑ ශක්තිය මැනිය හැක්කේ මිලිටරි බලයෙන් නොව, එහි ජනතාවට ලබා දෙන ගෞරවය සහ අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කරන උරුමය මත බව ඔහු එහිදී අවධාරණය කළේය.
