ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහන සඳහා පනවා ඇති රේගු ආනයන තීරු බදු මත සියයට 50ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයකට අනුව මෙම නව බදු සංශෝධනය අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙනු ඇත.
පසුගිය අප්‍රේල් මස පළමුවනදා සිට මෙම සියයට 50ක අධිභාරය ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබුණද, එය නැවතත් අද දිනයේ සිට බලාත්මක කිරීමට රජය කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මැයි මස 15 වනදා හෝ ඊට පෙර දිනවලදී ණයවර ලිපි (LC) විවෘත කර ඇති වාහන සඳහා මෙම නව අධිභාරය අදාළ නොවන බව රජය පැහැදිලි කරයි.රජය විසින් අලුතින් පනවන ලද මෙම සියයට 50ක අධිභාරය හේතුවෙන් මෙරට වෙළඳපොළේ වාහනයක මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 15කින් පමණ ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) පවසයි. මෙම තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට වාහන මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් දුෂ්කර වනු ඇති බවට එම සංගමය අනතුරු අඟවයි. වත්මන් වෙළඳපොළ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආරෝෂ රොඩ්රිගෝ මහතා සඳහන් කළේ, දැනට පවතින රේගු බදුවලට අමතරව විදේශ විනිමය අනුපාතවල සිදුව ඇති අගය ඉහළ යාම මත මෙම නව බද්දද එකතු වීමෙන් වාහන මිල දරාගත නොහැකි මට්ටමකට පත්වන බවයි. ඒ අනුව ඉදිරියේදී විවිධ වර්ගයේ වාහනවල මිල රුපියල් මිලියන 1.5 සිට මිලියන 2.5 දක්වා වූ අගයකින් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.
පුද්ගලික මට්ටමින් ආනයනය කරනු ලබන වාහන මෙන්ම වාහන අලෙවි නියෝජිතයන් හරහා ගෙන්වනු ලබන සියලුම වාහන සඳහා ගෙවිය යුතු රේගු බදු මුදල මෙම අධිභාරය හේතුවෙන් ඉහළ යන බව මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කෙරිණි. මැයි 15 වනදාට පෙර ණයවර ලිපි විවෘත කළ පිරිස් මෙම අධිභාරයෙන් නිදහස් වුවද, ඇමෙරිකානු ඩොලරය සහ ජපන් යෙන් වැනි විදේශීය මුදල්වල අගය ඉහළ යාම හේතුවෙන් ඔවුන්ටද අධික පිරිවැයකට මුහුණ දීමට සිදුව ඇත. මෙම නව සියයට 50ක අධිභාරය, විදේශ විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සහ මෑතකදී සියයට 2.5කින් ඉහළ දැමූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) යන කරුණු සියල්ලේම සාමූහික බලපෑම හේතුවෙන් ඉදිරියේදී සමස්ත වාහන වෙළඳපොළ තුළම දැවැන්ත මිල ඉහළ යාමක් සිදුවනු ඇත.
