
ශ්‍රී ලංකාව විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා වැය වන පිරිවැය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ඉලක්කය පසුගිය ජනවාරි මාසයේ සිට සපුරා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම කාර්ය මණ්ඩල වාර්තාවක සඳහන් වේ. ඉහළ පිරිවැයක් පැවතියද විදුලි ගාස්තු සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු නොකිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත.
දෙවැනි කාර්තුව වෙනුවෙන් පසුගිය මාර්තු 31 වැනිදා අනුමත කරන ලද සියයට 10.9 ක ගාස්තු වැඩිවීම මගින්, ඉහළ ගිය ඉන්ධන මිල සහ බලශක්ති සංයුතියේ අපේක්ෂිත වෙනස්කම් සම්පූර්ණයෙන්ම නිරූපණය නොවන බව ද එම මූල්‍ය ආයතනය පෙන්වා දෙයි.මේ හේතුවෙන් පිරිවැය පියවා ගත හැකි පරිදි සකස් කළ නව ගාස්තු සංශෝධන යෝජනාවක් පවතින ක්‍රමවේදයට අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. තෙවැනි කාර්තුව සඳහා ඉදිරිපත් කෙරෙන මෙම යෝජනාව මගින්, පළමු කාර්තුවේදී විදුලි ගාස්තු සංශෝධනය නොකිරීම නිසා සිදු වූ පාඩුව ද අය කර ගැනීමට අපේක්ෂා කෙරේ. විදුලි ගාස්තුවල පවතින අස්ථාවරත්වය අවම කිරීම, විදුලි සමාගම්වල මූල්‍ය ස්ථාවරත්වය සුරැකීම සහ ක්ෂේත්‍රයේ පාලනය ශක්තිමත් කිරීම කෙරෙහි ඉදිරි ක්‍රමවේදයන්හිදී අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වඩාත් පැහැදිලි හා අර්ථවත් විදුලි ගාස්තු නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා තම තාක්ෂණික කණ්ඩායමේ සහාය ලබා දෙන බව ද ප්‍රකාශ කර ඇත.
විදුලියට අමතරව ඛනිජ තෙල් ක්ෂේත්‍රය තුළ ද පිරිවැය ආවරණය වන පරිදි මිල සූත්‍රයක් පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක නොවන බව මූල්‍ය අරමුදල පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තා හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද, දේශීය මිල සංශෝධන මගින් එම පිරිවැය සම්පූර්ණයෙන්ම ආවරණය වී නොමැත. කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති අතීත පාඩු වෙනුවෙන් රජය විසින් වන්දි ලබා දෙනු ඇතැයි ද, දැනට ලබා දෙන ඉන්ධන සහන ඇස්තමේන්තුගත මුදලක් මත පදනම් වන බව සහතික කෙරෙන කැබිනට් තීරණයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද වාර්තාවේ සඳහන් වේ. මෙම ඉන්ධන සහන ලබා දීම එළඹෙන සැප්තැම්බර් මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිත අතර, බලශක්ති ක්ෂේත්‍රයේ පිරිවැය ආවරණය වන මිලකරණයක් පවත්වාගෙන යාම මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රධාන කොන්දේසියක් වෙයි.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා මෙරට ඉන්ධන මිල සිව් වතාවක් ඉහළ දමා ඇති අතර, එම වැඩිවීම් සියයට 38 ත් 46 ත් අතර අගයක් ගනී. දත්තවලට අනුව, පසුගිය පෙබරවාරි 28 වැනිදා රුපියල් 277 ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක් මැයි 2 වැනිදා වන විට සියයට 42 කින් ඉහළ ගොස් රුපියල් 392 ක් දක්වා ද, රුපියල් 323 ක් වූ සුපර් ඩීසල් ලීටරයක් එම ප්‍රතිශතයෙන්ම ඉහළ ගොස් රුපියල් 458 ක් දක්වා ද මිල ඉහළ ගොස් ඇත. එම කාලසීමාව තුළම පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 292 සිට රුපියල් 410 දක්වා සියයට 40 කින් ද, පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 340 සිට රුපියල් 470 දක්වා සියයට 38 කින් ද වැඩි වී තිබේ. තවද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182 සිට රුපියල් 265 දක්වා සියයට 46 කින් ඉහළ ගොස් ඇති අතර ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල රුපියල් 141 සිට රුපියල් 217 දක්වා සියයට 54 ක වර්ධනයක් පෙන්වා ඇත.
ශ්‍රී ලංකාවේ බාහිර ණය කළමනාකරණය සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ අනාවරණයක් සිදු කර ඇත. ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ණය මුදලක් හැකර්වරුන් සතු වීම හේතුවෙන්, පසුගිය නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ නව බාහිර ණය හිඟ පියවීම් නිරීක්ෂණය කිරීමට මූල්‍ය අරමුදල කටයුතු කර නැත. මෙම සිදුවීම හඳුනා ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියානු රජය හා සම්බන්ධ වෙමින් විමර්ශන පවත්වන බවත්, මෙය සුළු සිදුවීමක් වන බැවින් සහ එය නිවැරදි කිරීමට පියවර ගෙන ඇති බැවින් එම පැහැර හැරීම නොසලකා හරින ලෙස මෙරට බලධාරීන් ඉලා ඇති බවත් වාර්තාවේ දැක්වේ. කෙසේ වෙතත්, අදාළ හිඟ මුදල් කඩිනමින් පියවීමට මෙරට බලධාරීන් කැපවීමෙන් පසුවෙති.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් සනිටුහන් කළ ශ්‍රී ලංකාව, මේ වසරේදී සියයට 4 ක වර්ධනයක් අත්කර ගනු ඇතැයි මුලින් අපේක්ෂා කළ ද, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් එය සියයට 3 දක්වා පහත වැටෙනු ඇතැයි දැන් පුරෝකථනය කර තිබේ. එමෙන්ම, ඉකුත් වසරේ සියයට 2.1 ක් වූ උද්ධමනය මේ වසරේදී සියයට 5 ක් වනු ඇතැයි සිතුවද, වත්මන් භූදේශපාලනික තත්ත්වය හමුවේ එය සියයට 6.1 දක්වා ඉහළ යා හැකිය. රටේ ශුද්ධ ඉන්ධන ආනයන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.6 ක් වනු ඇතැයි අපේක්ෂා කළ ද, එය සියයට 4.9 දක්වා ඉහළ යාමට නියමිතය. ශ්‍රී ලංකාවට බොරතෙල් බැරලයක් සඳහා වැය කිරීමට සිදුවන මිල ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් 72.7 සිට ඩොලර් 98 දක්වා ඉහළ යනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මැදපෙරදිග කලාපය මත බෙහෙවින් රඳා පවතින බව පෙන්වා දෙන මූල්‍ය අරමුදල, මෙරටට පැමිණෙන ගුවන් සංචාරකයන්ගෙන් සියයට 34 ක් පැමිණෙන්නේ එම කලාපය හරහා බවත්, ඛනිජ තෙල් නිෂ්පාදනවලින් සියයට 50 ක් ආනයනය කරන්නේ ද එතැනින් බවත් පවසයි. මීට අමතරව, මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් සියයට 40 ක්ම ගලා එන්නේ ද මැදපෙරදිග කලාපයෙනි. මේ අතර, වේගයෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති හේතුවෙන් අපනයන ක්ෂේත්‍රය අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින අතර, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 ක (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.1 ක) හානියක් සිදු වී ඇති බව ඉදිරියේදී නිකුත් වීමට නියමිත පශ්චාත්-ආපදා අවශ්‍යතා තක්සේරු වාර්තාවේ ඇතුළත් වේ. මෙම බාහිර අර්බුද සහ ව්‍යුහාත්මක අවදානම් ආර්ථික වර්ධනයට මෙන්ම සංචිත රැස් කිරීමට බාධාවක් වී ඇති පසුබිමක, ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සහ සංශෝධිත ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක ඉලක්ක මූල්‍ය අරමුදල විසින් යෝජනා කර තිබේ.
