a-criminal-investigation-into-the-writer-who-sexually-assaulted-trump

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලිංගික අතවර චෝදනා එල්ල කළ ලේඛිකාවක වන ඊ. ජීන් කැරොල් සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය විසින් අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

2022 වසරේදී ට්‍රම්ප්ට එරෙහිව පැවති සිවිල් නඩු විභාගයක් අතරතුර ලබා දුන් දිවුරුම් ප්‍රකාශයකදී ඇය බොරු සාක්ෂි ලබා දුන්නේද යන්න පිළිබඳව රජයේ නීතිඥවරුන්ගේ අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම, ඇයගේ නීතිමය කටයුතු සඳහා බාහිර මූල්‍ය ආධාර ලබා නොගත් බවට ඇය කළ ප්‍රකාශය මෙම විමර්ශනයට පදනම් වී තිබේ.




කෙසේ වෙතත්, එම ප්‍රකාශය සිදු කර මාස හයකට පමණ පසු, නඩු විභාගය ආරම්භ වීමට ප්‍රථමයෙන්, ලින්ක්ඩ්ඉන් (LinkedIn) සම-නිර්මාතෘ රීඩ් හොෆ්මන් විසින් අරමුදල් සපයන ලද ලාභ නොලබන සංවිධානයක් විසින් කැරොල්ගේ නීතිමය ගාස්තු සහ වියදම්වලින් කොටසක් ගෙවා ඇති බව ඇයගේ නීතීඥයින් විසින් විනිසුරුවරයාට සහ ට්‍රම්ප්ගේ නීතීඥයින්ට දැනුම් දෙන ලදී. මෙය ඇයගේ විශ්වාසනීයත්වයට හානි කර ඇති බව ට්‍රම්ප්ගේ නීතීඥයින් තර්ක කළ ද, කැරොල්ගේ නීතීඥයින් සඳහන් කළේ ඇය අදාළ සංවිධානයේ කිසිවෙකුත් මුණගැසී හෝ කතා කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් දෙවන වරටත් කැරොල්ගෙන් ප්‍රශ්න කිරීමට ට්‍රම්ප්ගේ නීතීඥවරිය වන ඇලිනා හබා හට විනිසුරුවරයා විසින් මීට පෙර අවසර ලබා දී තිබුණි.

2024 වසරේදී නිව්යෝර්ක් හි ත්‍රිපුද්ගල ෆෙඩරල් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් කැරොල් තම සාක්ෂි ලබා දීමේදී මුසාවාද පැවසූ බවට වන චෝදනාව නිශ්ප්‍රභ කරනු ලැබීය. ඊ. ජීන් කැරොල් විසින් සිය 2019 කෘතියක් හරහා මුලින්ම චෝදනා කළේ නිව්යෝර්ක් වෙළඳසැලක ඇඳුම් මාරු කරන කාමරයකදී ට්‍රම්ප් තමන්ට බලහත්කාරකම් කළ බවයි. ට්‍රම්ප් විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළද, ඇය විසින් පවරනු ලැබූ සිවිල් නඩුවේදී ජූරිය විසින් ට්‍රම්ප් වැරදිකරු කරමින් ඩොලර් මිලියන 5ක වන්දියක්ද, පසුව වෙනත් ජූරියක් විසින් තවත් ඩොලර් මිලියන 83ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කරන ලදී. දැනට ට්‍රම්ප් මෙම තීන්දු දෙකටම එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇත.




මෙම නව අපරාධ විමර්ශනය, ට්‍රම්ප්ගේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව දියත් කරන ලද පරීක්ෂණ මාලාවක නවතම සිදුවීම ලෙස සැලකේ. මීට පෙර හිටපු FBI ප්‍රධානී ජේම්ස් කෝමි, නිව්යෝර්ක් නීතිපති ලෙටීෂියා ජේම්ස් මෙන්ම ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභිකයින් වන ඇඩම් ශිෆ් සහ ඉල්හාන් ඔමාර් යන අයට එරෙහිවද මෙලෙස ෆෙඩරල් පරීක්ෂණ දියත් කර තිබුණි. මේ අතර, වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් මීට පෙර කැරොල්ගේ සිවිල් නඩුවේදී ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි බැවින්, මෙම අධිකරණ දෙපාර්තමේන්තු විමර්ශනයෙන් ඔහු ඉවත් වී ඇති බව CNN සහ New York Times පුවත් සේවා වාර්තා කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අධිකරණ දෙපාර්තමේන්තුව සහ කැරොල්ගේ නීති නියෝජිතයින් ප්‍රතිචාර දක්වා නොමැත.

a-criminal-investigation-into-the-writer-who-sexually-assaulted-trump

a-criminal-investigation-into-the-writer-who-sexually-assaulted-trump