
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තා අනුව, ඉකුත් මාර්තු මාසය තුළ මෙරට ව්‍යාපාරික ප්‍රජාව සහ ගෘහස්ථ පාරිභෝගිකයන් විසින් වාර්තාගත අන්දමින් වාණිජ බැංකු හරහා ණය ලබාගැනීමට යොමුව ඇති බව තහවුරු වේ. පෙබරවාරි මාසය තුළ රුපියල් බිලියන 144.4ක්ව පැවති වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත සිදුකළ ණය නිකුතුව, මාර්තු මාසය අවසන් වන විට රුපියල් බිලියන 258.4ක් දක්වා ආසන්න වශයෙන් දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.
මෙම අගය, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා වූ රුපියල් බිලියන 262.6ක සර්වකාලීන ඉහළම මාසික ණය නිකුතුවට ඉතා ආසන්න වීම කැපී පෙනෙන තත්ත්වයකි.මෙම සීඝ්‍ර වර්ධනයත් සමඟ වර්තමාන වසරේ මුල් කාර්තුව තුළ පෞද්ගලික අංශයේ සමස්ත ණය ප්‍රසාරණය රුපියල් බිලියන 485.4ක් දක්වා වැඩි වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 27.1ක ඉහළ යාමකි. ආර්ථික අර්බුදයෙන් අනතුරුව රට තුළ නිර්මාණය වූ යහපත් ආර්ථික වටපිටාව සහ පහළ ගිය පොලී අනුපාත හේතුවෙන් 2025 වසර තුළදී ද රුපියල් ට්‍රිලියන 2කට අධික ඉතිහාසයේ ඉහළම ණය ප්‍රමාණයක් නිකුත් කර තිබුණි. ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම, ආනයන අවශ්‍යතා, කාරක ප්‍රාග්ධනය සපුරා ගැනීම මෙන්ම නිවාස හා වාහන මිලදී ගැනීම් වෙනුවෙන් මෙලෙස ණය ලබාගෙන ඇති අතර, මෙය දේශීය ආර්ථිකය කෙරෙහි පවතින විශ්වාසය සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රබෝධය පෙන්නුම් කරන ධනාත්මක සාධකයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එසේ වුවද, පෙබරවාරි අගභාගයේදී පැනනැගුණු ඉරාන යුදමය වාතාවරණයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම, ශ්‍රී ලංකාවේ පශ්චාත්-අර්බුද ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට යළිත් නව අභියෝගයක් එල්ල කර තිබේ. අප්‍රේල් මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය සියයට 2.2 සිට 5.4 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, ඉදිරියේදී ණය පිරිවැය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ව්‍යාපාරිකයන් කඩිනමින් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට පෙළඹෙන්නට ඇති බවට සැක පළ කෙරේ. ඊට සමගාමීව, වාණිජ ණය සඳහා වන ප්‍රධාන දර්ශකයක් වන සාමාන්‍ය බරිත ප්‍රමුඛ පෙළේ ණය අනුපාතිකය (AWPLR) යුදමය තත්ත්වය ආරම්භ වූ දින සිට පදනම් අංක 44කින් වර්ධනය වෙමින් සියයට 9.79 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.
විදේශ විනිමය සඳහා වන ඉල්ලුම වෙළඳපොළ තුළ ඉහළ යාමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළිත් අවප්‍රමාණය වෙමින් පවතින අතර, ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 330ක පමණ අගයක් දක්වා ඉහළ ගොස් ඇත. රුපියල දුර්වල වීම මත ඉන්ධන ඇතුළු ආනයන වියදම් ඉහළ ගොස් එය අවසානයේදී සමස්ත පොලී අනුපාත ඉහළ යාමකට පරිවර්තනය වීමේ අවදානමක් පවතින බැවින්, ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව බැංකු අංශය දැඩි ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටී. මේ හේතුවෙන් සිදුවිය හැකි අනාගත ණය පාඩු ආවරණය කරගැනීමේ අරමුණින් බැංකු කිහිපයක්ම මාර්තු කාර්තුව වෙනුවෙන් සිය ප්‍රතිපාදන (provisions) ඉහළ නංවා ඇති අතර, අනාගත ණය පිරිවැය සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ලබාගැනීම උදෙසා මේ මාසයේ අගභාගයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ශ්‍රී ලංකා මහ බැංකුවේ මීළඟ මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය දෙස සමස්ත මූල්‍ය වෙළඳපොළම දැඩි විමසිල්ලෙන් පසුවේ.
