ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, සැකකටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට මුදලට ඇපවීමේ සිද්ධියකට අදාළව, එම ඇපකරුවන්ට සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරීවරයාගේ දුරකතන දත්ත වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා පෙරේදා (13) කෙසෙල්වත්ත පොලිසියට නියෝග කළේය. ව්‍යාජ ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේවකයෙකු වන පෙරුමාල් ගනේෂ් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම නියෝගයට අනුව අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ දුරකතන දත්ත වාර්තා පරීක්ෂා කෙරෙනු ඇත. කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේ මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉෂාන් යන සැකකරුවන් දෙදෙනාට අධිකරණ කටයුතු සඳහා පමණක් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ ග්‍රාම නිලධාරී සහතික 17ක් නිකුත් කර තිබීම තුළ දැඩි සැකයක් මතු වන බවයි. එහිදී පළමු සැකකරු සහතික 10ක් ද දෙවන සැකකරු සහතික 7ක් ද ලබාගෙන ඇති අතර, ඔවුන් කාලයක් තිස්සේ මුදලට ඇපවීමේ ජාවාරමක නිරත වී ඇති බවට විමර්ශනවලින් හෙළි වී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
එයාර් බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතාට පසුගිය 5 වැනිදා අධිකරණය විසින් රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් නියම කරන ලදී. එම ඇප කොන්දේසි සපුරාලීම සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉෂාන් සහ ආරිය තිස්ස ද සිල්වා යන අය මුදල් ලබාගෙන ශරීර ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇත. එසේම රුපියල් ලක්ෂ පහක මුදල් ඇපය සඳහා අත්සන් තබා ඇත්තේ පෙරුමාල් ගනේෂ් නැමති සැකකරු වන අතර, ඔහුව ඊයේ පස්වරුවේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී බන්ධනාගාර නිලධාරියෙකු විසින් හඳුනාගනු ලැබූ බව කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ.ඩබ්ලිව්.ඩී. අනුරුද්ධ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරුවන් කපිල චන්ද්‍රසේන මහතාගේ ඥාතීන් හෝ හිතවතුන් නොවන බව පොලිසිය තවදුරටත් අවධාරණය කළ අතර, චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් තවමත් ලැබී නොමැති බැවින් සහ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බැවින් සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරන බව ද ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, පෙරුමාල් ගනේෂ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින්ද ඉන්දුතිස්ස මහතා සඳහන් කළේ සිය සේවාදායකයා අධිකරණයට පැමිණියේ මුදල් ඇප තැබීමට පමණක් බවයි. ආරිය තිස්ස වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය ගමගේ මහතා තර්ක කළේ තම සේවාදායකයාට එරෙහිව නිශ්චිත චෝදනාවක් නොමැති බවත්, සියදිවි නසාගැනීමේ සිදුවීම මීට අදාළ නොවන බවත්ය. එසේම පොලිසියේ තර්කය අනුව බන්ධනාගාර නිලධාරීන්ද අත්අඩංගුවට ගත යුතු බවටත් ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් සිව්දෙනා ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ඔවුන්ට අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.
