අනිවාර්ය ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය නොමැතිව, ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි මහා පරිමාණ කර්මාන්තශාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 09 වැනිදා මුද්‍රා තබනු ලැබීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව බලධාරීන් විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙම හදිසි වැටලීම දියත් කර තිබේ.
අදාළ ස්ථානයේ සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නීතිය මඟහරිමින් වසර තුනක පමණ දිගු කාලයක සිට මෙම කර්මාන්තශාලාව ඉතා සූක්ෂ්ම ලෙස අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බවයි. විශේෂයෙන්ම ඔවුන් විසින් සිය අනෙකුත් නිමි භාණ්ඩ සමග මිලිමීටර් 6 (6mm) ප්‍රමාණයේ ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කර ජනතාව අතරට පත් කර ඇති බව එහිදී වැඩිදුරටත් තහවුරු වී ඇත.
කිසිදු ප්‍රමිතියකින් තොරව මෙලෙස වගකීම් විරහිතව වෙළෙඳපොළට නිකුත් කරන ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ගොඩනැගිලි කඩා වැටීමේ අවදානමක් නිර්මාණය වන අතර, එය ඍජුවම මහජනතාවගේ ජීවිත සහ දේපළ දැඩි අනතුරකට ලක් කිරීමකි. මේ හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාවට වහාම ක්‍රියාත්මක වන පරිදි මුද්‍රා තැබීමට පියවර ගත් නිලධාරීන්, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරමින් මෙවැනි වංචනික ආයතනවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටියි.
