
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව ඇති බැවින්, ඔහුට යම් හිරිහැරයක් හෝ අනතුරක් සිදුවුවහොත් වත්මන් රජය ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කරයි.
පසුගියදා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත හිටපු ජනාධිපතිවරයා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි පැවති ආරක්ෂක දුර්වලතා පිළිබඳවද ඔහු කරුණු පැහැදිලි කළේය. කිසිදු ආකාරයක ශරීර පරීක්ෂාවකට ලක් නොකළ විශාල ජනකායක් එම පරිශ්‍රය අවට රැඳී සිටි බවත්, ඒ හරහා ත්‍රස්තවාදීන්ට පහසුවෙන්ම ඊට රිංගා රාජපක්ෂ මහතාට හානියක් සිදු කිරීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබූ බවත් ඒ මහතා පෙන්වා දෙයි. නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, එවැනි ඉතා අනාරක්ෂිත සහ අවදානම් සහගත පසුබිමක් යටතේ හිටපු රාජ්‍ය නායකයාව කොමිසම හමුවට ගෙන්වීම බලවත් ගැටලුවක් බවයි.
විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඊනියා යුද විරුවන් සැමරීම වෙනුවෙන් යොදාගන්නා මාසය උදාවී ඇති බැවින්, මෙවැනි කාලවකවානුවකදී මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් විවිධ කණ්ඩායම් විසින් හානි සිදු කිරීමට උත්සාහ කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. එබැවින් මෙම තත්ත්වය පිළිබඳව රජය ඉතා දැඩි අවධානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටී.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබූ ආරක්ෂක භටයන් ප්‍රමාණයද සැලකිය යුතු ලෙස කප්පාදු කර ඇති බව මනෝජ් ගමගේ මහතා මෙහිදී සිහිපත් කළේය. රට තුළ සැකකටයුතු අන්දමින් මරණ සිදුවෙමින් පවතින මෙවන් වකවානුවක, ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතභාවයක් නිර්මාණය වී ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
