pallegama-hemarathana-thero-remanded-till-12

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලෙස ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.




මෙම සැකකාර හිමිනම ඊයේ රාත්‍රී කාලයේදී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගනිමින් සිටින අතරතුරදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව අද දහවල් අදාළ පෞද්ගලික රෝහල වෙත ගිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමියන්ව පෞද්ගලිකවම නිරීක්ෂණයට ලක් කර ඇත.

සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මෙහිදී මහේස්ත්‍රාත්වරයාගේ සැලකිල්ලට යොමු වී ඇත. ඒ අනුව අදාළ රිමාන්ඩ් නියෝගය නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා, ලබන 12 වනදාට සැකකාර හිමිනම අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කර තිබේ.