an-announcement-from-the-police-tightening-the-vehicle-modification-rules

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන පාලනය කිරීම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකා, නීති විරෝධී ලෙස අන්තරාදායක කොටස් සවි කර ඇති වාහනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිසිය තීරණය කර ඇත. නියමිත යෝග්‍යතා සහතික නොමැතිව මෙන්ම අනතුරුදායක අන්දමින් නවීකරණය කරන ලද පැරණි රථවාහන මහමග ධාවනය වන බවට මේ වන විට බලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ.




මෝටර් වාහන ආඥා පනතට අනුව, වාහනයක් තුළ ගමන් කරන මගීන්ට, වෙනත් මාර්ග භාවිත කරන්නන්ට හෝ මාර්ගයට යාබද දේපළවලට යම් අනතුරක්, අපහසුවක් හෝ හානියක් සිදු නොවන තත්ත්වයකින් පමණක් ඕනෑම මෝටර් වාහනයක් මාර්ගයේ ධාවනය කළ යුතු බව පැහැදිලිව දක්වා ඇත. එහෙත්, ඇතැම් රියදුරන් විසින් නිෂ්පාදකයා විසින් සකස් කරන ලද සයිලන්සරවල හැඩය වෙනස් කරමින්, අමතර කොටස් එකතු කරමින් සහ වෙනත් සයිලන්සර සවි කරමින් පරිසරයට කඨෝර, විකෘති හා අධික ශබ්දයක් මුදාහරින බව හඳුනාගෙන තිබේ. මීට අමතරව, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණවලින් යුත් අමතර විදුලි පහන් සවි කිරීම, විවිධ නලා වර්ග භාවිත කිරීම, වාහනයේ වර්ණය සහ නිර්මාණය වෙනස් කිරීම මෙන්ම වාහනයේ ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර, මෝස්තර, වෙළඳ දැන්වීම් සහ ඉෂ්ඨ රූප ප්‍රදර්ශනය කිරීම ද නීති විරෝධී ක්‍රියාවන් වේ.

මෙවැනි නීති විරෝධී සවි කිරීම් සහිතව රථවාහන මාර්ගයේ ධාවනය කිරීමෙන් එම රථයේ ගමන් කරන පුද්ගලයින්ට මෙන්ම මාර්ගය භාවිත කරන අනෙකුත් ජනතාවට ද අනතුරු, අපහසුතා සහ හානි සිදුවීමේ දැඩි ප්‍රවණතාවක් පවතී. විශේෂයෙන්ම මෑත කාලයේදී සිදුවූ රිය අනතුරු පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී, නිසි තත්ත්ව වාර්තා සහ ධාවන තත්ත්ව වාර්තා ලබා නොගෙන අත්තනෝමතික ලෙස නවීකරණය කරන ලද බස් රථ විශාල ප්‍රමාණයක් එම අනතුරුවලට ලක්ව ඇති බවට ද තහවුරු වී ඇත. රථවාහන දුමාරය මගින් පරිසරයට සිදුවන දැඩි හානිය වළක්වා ගැනීම සඳහා ද නව පියවරක් හඳුන්වා දී ඇති අතර, කළු දුම පිටකරන වාහන පිළිබඳව දැනුම් දීමට මහජනතාවට දැන් අවස්ථාව සලසා දී තිබේ.




යම් රථවාහනයකින් කළු දුම පිටවන්නේ නම්, අදාළ සිද්ධිය වූ දිනය, ස්ථානය සහ වාහනයේ අංකය 070 - 3500525 යන වට්ස්ඇප් (WhatsApp) දුරකථන අංකය වෙත යොමු කිරීමෙන් එම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට හැකියාව පවතී. මහමග ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් අඛණ්ඩව රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බැවින්, පවතින නෛතික තත්ත්වයන්ට අනුකූලව නිසි අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව තම වාහන ධාවනයට එක් කරන ලෙස පොලිසිය සියලුම රථවාහන හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.