former-director-of-nie-jailed-for-six-years-for-contempt-of-court

2024 වසරේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් කලින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබූ නියෝගයක් හිතාමතා පැහැර හැරීම හේතුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු කරනු ලැබූ ඔහුට මෙම දැඩි දඬුවම පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීන්දු කළේය.




සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ තිහක දඩයක් ද විත්තිකරුට නියම වූ අතර, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් තවත් වසරක අතිරේක සිර දඬුවමක් විඳිය යුතු බව විනිසුරු මඩුල්ල නියෝග කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අවල ගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පැමිණිල්ල විභාගයට ගැනිණි.

අදාළ නඩුව පසුගිය මාර්තු මස 26 වැනිදා කැඳවූ අවස්ථාවේදී තමන් චෝදනාවලට නිවැරදිකරු බව විත්තිකරු මුලින් ප්‍රකාශ කර තිබුණ ද, පසුව එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමින් තමන් වරදකරු බව ඔහු අධිකරණය හමුවේ පිළිගත්තේය. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට අධිකරණයට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් නොතිබූ බවත්, පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් මීට පෙර නියම කළ වන්දි මුදල ගෙවීමට නොහැකි වූ බවත්ය.




ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසානයේ, 2024 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විත්තිකරුට නියෝග කර තිබුණි. එම නියෝගය නිකුත් කර මාසයක් ඇතුළත වන්දි මුදල් ගෙවා අවසන් කළ යුතුව තිබුණ ද, තමන්ට එම මුදල ගෙවිය නොහැකි බව වගඋත්තරකාර අධ්‍යක්ෂවරයා පසුව අධිකරණයට දැනුම් දී තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සම්බන්ධයෙන් ඉතා සැහැල්ලුවෙන් කටයුතු කර ඇති බවයි. මෙවැනි ක්‍රියාවන් සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බැවින්, දඬුවම් නියම කිරීමේදී විත්තිකරුගේ පෞද්ගලික කරුණුවලට වඩා අධිකරණයේ ගෞරවය සහ මහජන වගකීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.