orders-to-arrest-senior-officials-including-lahiru-kodikara-the-mastermind-of-the-ndb-scam

නැෂනල් ඩෙවලොප්මන්ට් බැංකුවේ (NDB) මහා ලෙජර් ගිණුමෙන් රුපියල් බිලියන 13ක මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය පසුගියදා කැඳවනු ලැබූ අතර, එහිදී අදාළ වංචාවට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වන ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 2024 වසරේ සිට 2026 මාර්තු දක්වා කාලය තුළ සිදුව ඇති මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මහ බැංකුව ලබාදුන් නිර්දේශ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් යටපත් කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී උපදෙස් දෙන ලදී.




මෙම සිද්ධියට අදාළව දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින බැංකුවේ මූල්‍ය අංශයේ සහකාර කළමනාකාර ළහිරු කොඩිකාර, ඔහුගේ සහෝදරයකු වන පැතුම් කොඩිකාර, බැංකු දත්ත ක්‍රියාකරු සාරංග කෝසල සහ ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉන්හාමුල් හෂාන් යන සැකකරුවන් සිව්දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන අතර, සැකකරුවන් ලබන මැයි 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පළමු සැකකරු වන ළහිරු කොඩිකාර මෙම වංචාවේ මහමොළකරු ලෙස කටයුතු කර ඇති බවත්, ඔහු බැංකුවේ සියලු දෙනාගේ විශ්වාසය දිනා ගනිමින් මෙම මූල්‍ය අපරාධය සිදුකර ඇති බවත්ය. ඔහු බැංකුවේ අනෙකුත් නිලධාරීන්ට ද විවිධ ණය පහසුකම් ලබාදීමට මැදිහත් වී ඇති අතර, එම සමීප සම්බන්ධතාවය හේතුවෙන් ඔහුගේ ක්‍රියාකලාපයන් පිළිබඳව කිසිදු නිලධාරියෙකු ප්‍රශ්න කර නොමැති බව ද අනාවරණය විය. 2022 වසරේ සිට බැංකුවේ මහා ලෙජර් ගිණුම සම්බන්ධයෙන් නිසි විගණනයක් සිදුව නොමැති බවත්, විගණන අංශයේ ප්‍රධාන විධායක නිලධාරිනියගේ ප්‍රකාශවලට අනුව විධිමත් විගණන වාර්තා සකස් කර නොමැති බවත් සී.අයි.ඩී. නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.




මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ 2022 වසරේ සිට අභ්‍යන්තර හා බාහිර විගණන වාර්තා භාරයට ගන්නා ලෙස මීට පෙර ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොවූයේ මන්ද යන්න පිළිබඳවයි. එමෙන්ම අදාළ විගණන නිලධාරීන් තවමත් සේවයේ යෙදී සිටින්නේද යන්න විමසා සිටි මහේස්ත්‍රාත්වරයා, බැංකු ලේඛන හා විගණන වාර්තා වහාම භාරයට ගන්නා ලෙසත්, රාජකාරි පැහැර හැරි නිලධාරීන් පිළිබඳව විමර්ශනය කරන ලෙසත් නියෝග කළේය. මේ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා තර්ක කළේ මෙම දැවැන්ත වංචාවේ සම්පූර්ණ වගකීම තම සේවාදායකයන් මත පමණක් පැටවීම අසාධාරණ බවත්, ඉහළ නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව මෙවැනි දෙයක් සිදුවිය නොහැකි බවත්ය.

මෙම වංචාවට අදාළව මේ වන විට සැකකටයුතු බැංකු ගිණුම් 900ක් හඳුනාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය. පළමු සැකකරු විසින් රුපියල් මිලියන 10ක මුදලක් පොතුවිල් ප්‍රදේශයේ සම්පත් බැංකු ශාඛාවක ගිණුමකට මාරු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ද යොමු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. ඒ අනුව, මෙම මූල්‍ය වංචාවට වක්‍රව හෝ සෘජුව සම්බන්ධ වූ සහ මහ බැංකු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අවසාන වශයෙන් නියෝග කළේය.