ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානය යොමු වී තිබේ. මාස කිහිපයක සිට පවතින මෙම තත්ත්වය යටතේ මේ වන විට උත්තරීතර අධිකරණ ද්විත්වය තුළ විනිසුරු ධුර අටක් දක්වා හිස්ව පවතින බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂිත විධිමත් පත්වීම් ක්‍රියාවලියට මෙම ප්‍රමාදය හරහා දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, එය සමස්ත යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ සුමට ක්‍රියාකාරීත්වයට ද බරපතළ බාධාවක් වී ඇත.උත්තරීතර අධිකරණවල පවතින මෙම අර්බුදයට සමගාමීව, පහළ අධිකරණ පද්ධතියේ පරිපාලන සහ අධීක්ෂණ කටයුතු භාරව ක්‍රියා කරන අධිකරණ සේවා කොමිෂන් සභාවේ ද (JSC) සාමාජික පුරප්පාඩුවක් පවතී. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ විශ්‍රාම යාමෙන් අනතුරුව එම ධුරය සඳහා මෙතෙක් නව සාමාජිකයෙකු පත් කර නොමැත. පූර්ණ සාමාජිකත්වයක් නොමැතිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ කටයුතු පවත්වාගෙන යාමට සිදුවීම, පහළ අධිකරණවල කාර්යක්ෂමතාව සහ පරිපාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රබල අභියෝගයක් බව නීති වෘත්තිකයන්ගේ අදහස වී තිබේ.
මෙලෙස විනිසුරුවරුන් පත් කිරීම කල්ගත වීම හරහා අධිකරණය තුළ නඩු ගොඩගැසීමේ අවදානමක් නිර්මාණය වී ඇතිවාක් මෙන්ම, එය අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට ද දැඩි සේ හානිදායක විය හැකි බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අනතුරු අඟවති. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (1) වගන්තියට අනුකූලව ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගනිමින් අදාළ පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙස ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලීමක් කරති. නීතියට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වන අතර, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කොන්දේසියකි.
