risk-situation-due-to-lack-of-rabies-vaccine

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලවල ජලභීතිකා මර්දන එන්නත්වල පවතින දැඩි හිඟය හේතුවෙන් ඉදිරියේදී මිනිස් මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම සැපයුම් පද්ධතියේ පවතින බාධාකාරී තත්ත්වය හේතුවෙන් සතුන් අතර රෝගය ව්‍යාප්ත වී මිනිස් ජීවිත සෘජු ලෙස අනතුරේ වැටීමේ ඉඩකඩක් පවතින බවත්, මෙය වසර ගණනාවක් පුරා ජලභීතිකා මර්දනය සම්බන්ධයෙන් මෙරට අත්පත් කරගත් ප්‍රගතිය ආපස්සට හැරවීමට ප්‍රබල හේතුවක් වන බවත් එම සංගමය අවධාරණය කරයි.




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ පවතින එන්නත් හිඟය හමුවේ ජාතික ජලභීතිකා මර්දන වැඩසටහන මේ වන විට මුළුමනින්ම අඩපණ වී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන 'ඒකීය සෞඛ්‍ය' (One Health) ප්‍රවේශය යටතේ 2030 වසර වන විට ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා මරණ තුරන් කිරීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට ද මෙම අර්බුදය දැඩි බාධාවක් වී තිබේ.

පෞද්ගලික එන්නත් මධ්‍යස්ථාන හරහා මෙම එන්නත් ලබා ගැනීමට පහසුකම් පැවතිය ද, රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින මෙම හිඟය බරපතල මහජන සෞඛ්‍ය ගැටලුවක් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. ජලභීතිකාව පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මඟී සුනඛයන් සහ අනෙකුත් සතුන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ ද පසුගිය මාස එකහමාරක පමණ කාලයක සිට නතර වී ඇති අතර මෙය වළක්වා ගත හැකි රෝගයක් වුවද පවතින සැපයුම් ගැටලු හේතුවෙන් තත්ත්වය අසාධ්‍ය අතට හැරී ඇත.




රෝග ලක්ෂණ මතු වූ පසු කිසිදු සුව කිරීමේ හැකියාවක් නොමැති, සියයට සියයක්ම මරණය ගෙන දෙන දරුණු රෝගයක් වන ජලභීතිකාව නිසි පරිදි එන්නත් ලබාදීම මගින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකිය. එවැනි මාරාන්තික තත්ත්වයක් වළක්වා ගැනීමට රජයේ මට්ටමින් පවතින මෙම එන්නත් හිඟය කඩිනමින් විසඳීම අත්‍යවශ්‍ය කරුණක් බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.