sugar-dal-prices-will-rise-soon

දේශීය වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පියවර ගෙන තිබේ. පවතින වෙළෙඳපොළ තත්ත්වයන් මෙන්ම විදේශ විනිමය අනුපාතයන්හි සිදුව ඇති වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදු කිරීමට තීරණය කළ බව එම සංසදය පවසයි.




මෙම මිල සංශෝධනයට අනුව වෙළෙඳපොළේ පවතින ග්‍රෑම් 400 සහ ග්‍රෑම් 450 ප්‍රමාණයේ ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇත. මීට අමතරව කිලෝග්‍රෑම් 1ක් බරැති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ නංවා ඇති අතර මෙම නව මිල ගණන් අද (20) දිනයේ සිටම ක්‍රියාත්මක වීමට නියමිතය.

කෙසේ වෙතත්, කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කරන්නේ නව මිල ගණන් යටතේ ඇසුරුම් කරන ලද කිරිපිටි ඉදිරි සතිය ඇතුළත වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි. මේ හේතුවෙන් දැනට වෙළෙඳපොළ තුළ විකිණීමට පවතින කිසිදු ආනයනික කිරිපිටි වර්ගයක මිල වහාම ඉහළ නොයන බව ද එම සංසදය වැඩිදුරටත් තහවුරු කර සිටියි.




මේ අතර, ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් අමෙරිකානු ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී තවත් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යාමේ ලකුණු පහළ වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් සුබ්‍රමනියම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පවතින විනිමය අර්බුදය හමුවේ ඉදිරි දිනවලදී සීනි, පරිප්පු සහ සහල් ඇතුළු මෙරට ජනතාව එදිනෙදා පරිභෝජනය කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් මෙලෙස ඉහළ යා හැකි බවයි.