anuradhapura-to-check-the-bank-account-of-the-girls-mother-to-find-the-stolen-money

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කළේ යැයි කියන සිද්ධියට අදාළව, එම දැරියගේ මවගේ නමින් පවතින බැංකු ගිණුම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වහාම නිට්ටඹුව පොලිසිය වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කළමනාකාරිත්වයන් වෙත නියෝග කර තිබේ.




ඊට අමතරව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් භාවිත කළ ජංගම දුරකතන අංක සහ අතවරයට පත් බාලවයස්කාර දැරිය පරිහරණය කළ දුරකතන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා ද ප්‍රමාදයකින් තොරව පොලිසිය වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙරට සියලුම රාජ්‍ය සහ පෞද්ගලික දුරකතන සමාගම් වෙත වෙන වෙනම නියෝග නිකුත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වන නිට්ටඹුව පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝග නිකුත් කෙරිණි.

මේ අතර, අදාළ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතරතුර දැනට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සැකකාර පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 22 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරීවරයා වෙත මීට පෙර නියෝග කර තිබුණි. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුව පළමු සැකකාර හිමිනම මෙලෙස එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.




තම බාලවයස්කාර දියණිය චේතනාන්විතවම මුදලට ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින වින්දිත දැරියගේ මව ද එළඹෙන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය පියවර ගෙන ඇත. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, මෙම අපරාධ විමර්ශනයට අදාළ උදෘත නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා මේ වන විටත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.