රාජ්‍ය අංශය තුළ ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 400 දෙනෙකුගෙන් සමන්විත සුවිශේෂී කණ්ඩායමක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. "පොදු බලපෑම් ශූරයන්ගේ ජාලය" (Public-Impact Champions Network - PIC-Net) ලෙස නම් කර ඇති මෙම කණ්ඩායමට රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයන් මෙහෙයවීමේ මූලික වගකීම පැවරෙනු ඇත.
අමාත්‍යාංශ, රජයට අයත් ව්‍යවසාය (SOEs) සහ පළාත් සභා ඇතුළු රාජ්‍ය ආයතන 95ක් නියෝජනය වන පරිදි මෙම නිලධාරීන් තෝරා ගැනීමට නියමිත අතර, රාජ්‍ය අංශය පුරා ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මනාව ස්ථාපිත කර ශක්තිමත් කිරීම ඔවුන්ගේ ප්‍රධානතම කාර්යභාරය වේ.
ජනාධිපති ලේකම් එන්. එස්. කුමනායක මහතා විසින් නිකුත් කර ඇති විශේෂ විධානයකට අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය ආයතන තුළ ඩිජිටල්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේ මධ්‍යම බලවේගය ලෙස මෙම ජාලය ක්‍රියා කරනු ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය සහ මැදිහත්වීම ඇතිව, GovTech ශ්‍රී ලංකා ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මෙම සමස්ත වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සිදු කරයි.
මෙම නව ජාලය යටතේ සෑම සහභාගී වන රාජ්‍ය ආයතනයක්ම සිය කාර්ය මණ්ඩලය නියෝජනය වන පරිදි විශේෂ නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කළ යුතු වේ. ඔවුන් ඩිජිටල් ශූරයා (Digital Champion), අත්දැකීම් ශූරයා (Experience Champion), ක්‍රියාවලි ශූරයා (Process Champion) සහ පරිවර්තන ශූරයා (Transformation Champion) යන තනතුරු නාමයන්ගෙන් හඳුන්වනු ලබයි.
ඩිජිටල් යුගයට සරිලන සේවා විශිෂ්ටත්වයක් රාජ්‍ය අංශය තුළ නිර්මාණය කිරීම, නව තාක්ෂණය භාවිතයට ගැනීම, සේවා සැපයීමේ අත්දැකීම් වැඩිදියුණු කිරීම, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් ඒකාබද්ධ ප්‍රවේශයක් හරහා ප්‍රවර්ධනය කිරීමේ සාමූහික වගකීම මෙම කණ්ඩායමට පැවරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
මෙම භූමිකාවන් හතර ආවරණය වන පරිදි අනාගත ඩිජිටල් ශූරයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින් 16 ත් 20 ත් අතර ප්‍රමාණයක් නම් කිරීම සෑම දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුගේම අනිවාර්ය වගකීමක් බවට පත් කර ඇත.
මෙලෙස තෝරා ගනු ලබන නිලධාරීන් ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිනිර්මාණය, ක්‍රියාවලි වර්ධනය කිරීම සහ ආයතනික වෙනස්කම් කළමනාකරණය වැනි ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික නිපුණතා වර්ධනය කර ගැනීම සඳහා ව්‍යුහගත ධාරිතා සංවර්ධන වැඩසටහන්, වැඩමුළු සහ විශේෂඥ උපදේශන ක්‍රියාවලියක් වෙත යොමු කිරීමට නියමිත බව එම චක්‍රලේඛයේ තවදුරටත් සඳහන් වේ.
